චමීර සහ Rahulගේ දස්කම් නිසා මුම්බායි 8 වැනි තරගයත් පරදියි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1666

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ දී තමන් ක්‍රීඩා කළ 8 වැනි තරගයෙන් ද පරාජය වීමට Mumbai Indians කණ්ඩායමට ඊයේ (24) සිදු වුනා.

ඒ තරගාවලියේ 37 වැනි තරගයෙන් Lucknow Super Giants කණ්ඩායම හමුවේ ලකුණු 36කින් පරාජයට පත් වීම නිසයි.

මෙම තරගයේ දී කඩුලු දවා ගැනීමට නොහැකි වුවත්, සුපිරි ගණයේ පන්දු යැවීමක නිරත වීමට Lucknow කණ්ඩායමේ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත් වුනා.

එසේම නායකත්වයේ පිතිකරණයක නිරත වුනු KL Rahul මෙවර තරගාවලිය තුල ලබා ගත් සිය දෙවැනි ශතකය වාර්තා කර ගත් අතර එම ශතක දෙකම Mumbai කණ්ඩායමට එරෙහිව වාර්තා වීම සුවිශේෂී වුනා.

Mumbai හි Wankhede ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ Mumbai නායක Rohit Sharma පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Lucknow පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා.

මෙවර තරග වාරයේ දී වාර්තා කළ සිය දෙවැනි ශතකය රැස් කළ නායක Rahul පන්දු 62කින් නොදැවී ලකුණු 103*ක් වාර්තා කරගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 12ක් ඇතුළත්.

එක් තරගවාරයක් තුල එකම කණ්ඩායමකට එරෙහිව මෙතෙක් ශතක දෙකක් ලබාගෙන තිබෙන දෙවැනි ක්‍රීඩකයා Rahul වන අතර මීට පෙර 2016 දී Virat Kohli විසින් එම දස්කම් දක්වා තිබුණා.

Manish Pandey ලකුණු 22ක් ද, Ayush Badoni ලකුණු 14ක් ද ලබාගෙන ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළා. පන්දු යැවීමේ දී Kieron Pollard සහ Riley Meredith කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Mumbai කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

යළිත් අසාර්ථක වූ ඔවුන්ගේ ආරම්භක කඩුලු රකින පිතිකරු Ishan Kishan ලකුණු 8කටත්, Dewald Brevis ලකුණු 3කටත්, Suryakumar Yadav ලකුණු 7කටත් දවා ගැනීමට Lucknowට හැකියාව ලැබුණා.

Mumbai වෙනුවෙන් මේ තරගයේ දී වැඩිම ලකුණු ලබා ගත් නායක Sharma ලකුණු 39ක් ලබා ගන්නා විට, Tilak Varma ලකුණු 38ක් ද, Pollard ලකුණු 19ක් ද ලබා ගත් අතර Mumbai සෙසු එකඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී චමීර සිය පන්දුවාර 4 තුළ දී කඩුලු දවා නොගත්ත ද, ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 14ක් (පන්දුවාරයකට දල ලකුණු ලබා දීම – 3.50) පමණයි. Krunal Pandya කඩුලු 3ක් බිද හෙළුවා.

Lucknow Super Giants – 168/6 (20): KL Rahul 103*, Manish Pandey 22, Ayush Badoni 14, Kieron Pollard 2/08, Riley Meredith 2/40.

Mumbai Indians – 132/8 (20): Rohit Sharma 39, Tilak Varma 38, Kieron Pollard 19, Krunal Pandya 3/19,

Lucknow කණ්ඩායමට ලකුණු 36ක ජයක්

  • තරගයේ වීරයා – KL Rahul

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<