පහසු තරගයකින් ශ්‍රී ලංකා කාන්තාවට වාර්තා ගත ජයක්

409
Asia Cup 2016 Sri lanka vs Nepal

ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ ‍දෙවන තරගය, අද (28) නේපාල කණ්ඩායමට ‍එරෙහිව පැවතියේ බැංකොක් නුවර ආසියානු තාක්ෂණික ආයතන ක්‍රීඩාංගණයේදීය. මෙම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවන් ජයග්‍රහණය ලබා ගත්තේ ප්‍රතිවාදීන් එල්ල කල ලකුණු 20කට පිළිතුරු ලෙස කඩුලු දෙකක් දැවී ලකුණු 24ක් වාර්තා කරමිනුයි.

පසුගිය ලිපි: ප්‍රථම තරගයත් ශ්‍රී ලංකාව පරාදයි

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකාව පළමුව පන්දුවට පහරදීම සඳහා නේපාල කණ්ඩායමට ආරාධනා කළාය. ඒ අනුව පිටියට පිවිසි නේපාල කණ්ඩායමට පන්දුවාර ක16 පන්දු 2ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 23ක් පමණි.

මෙය 20-20 ඉනිමකදී කණ්ඩායමක් ලැබු අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

නේපාල කණ්ඩායම වෙනුවෙන් ජ්යොති පාන්ඩේ පන්දු 39ක් වැය කරමින් ලකුණු 16ක් ලබා ගැනීමට සමත් වූ අතර පාන්ඩේ හැරෙන්නට සෙසු සියලු පිතිකාරිනියන්ට ලකුණු 5 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ දුන්නේ නැත.

පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 7කට කඩුලු 3ක්, ඉනෝකා රණවීර ලකුණු 3කට කඩුලු 3ක් සහ ඔෂානි රණසිංහ කඩුලු 2ක් ද දවා ගැනීමට සමත්විය.

ඉතා පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, පන්දුවාර 4යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 24ක් ලබා ගනිමින් මෙම තරගයේ ජය වාර්තා කළාය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හසිනි පෙරේරා පන්දු 14ක් තුළ හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා ගැනීමට සමත් විය.

නේපාල කණ්ඩායම වෙනුවෙන් රුබිනා චෙත්ත්‍රී සහ කරුණා බන්ධාරී එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ඒ අනුව ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරගය වාර්තා පොත් අලුත් කරමින් පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්විය.

තරග සාරාංශය

නේපාලය – සියල්ලන් දැවී ලකුණු 23 ( පන්දුවාර 16.2): ජ්යොති පාන්ඩේ 16, සුගන්දිකා කුමාරි 3/7, ඉනෝකා රණවීර 3/3, ඔෂානි රණසිංහ 2/0

ශ්‍රී ලංකාව – කඩුලු 2 දැවී ලකුණු 24 (පන්දුවාර 4.3): හසිනි පෙරේරා 17*, රුබිනා චෙත්ත්‍රී 1/17, කරුණා බන්ධාරී 1/6

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට