ගේල්ගේ උත්සහය අපතේ යයි

256

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති සිව්වැනි එක්දින තරගයේ සුවිශේෂි පිතිකරණ වාර්තා කිහිපයක් අලුත් කරමින් ලකුණු 29ක තියුණු ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

දෙරට අතර ඊයේ (27) ග්‍රෙනේඩා හී සාන්ත ජෝර්ජ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

කොල්පැක් නිසා ද. අප්‍රිකා දඟයෙක් වසර 3කට ක්‍රීඩාවට සමුදෙයි

දකුණු අප්‍රිකානු නැගීඑන වේගපන්දු යවන්නෙකු ….

කෙසේ වෙතත් පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය වූ සාන්ත ජෝර්ජ් තණතීරුවේ හෝල්ඩර් ගත් තීරණය නිවැරදි නොවන බව පෙන්නුම් කරමින් එංගලන්ත පිතිකරුවන් කොදෙව් පන්දු යැවීමේ බලඇණියට පිටිය පුරා දැවැන්ත ප්‍රහාරයක් දියත් කරමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 418ක් ලබා ගත්හ.

එංගලන්ත කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරගයක දී ලකුණු 400 සීමාව පසුකර ගිය සිව්වැනි අවස්ථාව මෙය වන අතර එක්දින ජාත්‍යන්තර තරගයක දී කණ්ඩායමක් එක් ඉනිමක වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව (24) ද මෙම ඉනිමේ දී වාර්තා වීම සුවිශේෂී වේ.

මෙවැනි දැවැන්ත ලකුණු පුවරුවක් වෙත කණ්ඩායම රැගෙන යාමට එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා කදිම ආරම්භයක් ලබා දුන් අතර පළමු කඩුල්ල ලෙස ලකුණු 56ක් ලබා සිටි ජොනී බෙයාර්ස්ටෝ දැවී යන විට එංගලන්තය පන්දුවාර 13යි පන්දු 5කට ලකුණු 100ක් ලබා සිටිය හ.

අනතුරුව ජෝ රූට් පිටියට පිවිසිය ද ඔහුට වැඩි දස්කම් දැක්වීමට ඉඩනොදී ලකුණු 5කට  දවා ගැනීමට ඕෂන් තෝමස් සමත් විය.

පසුව ඇලෙක්ස් හෙල්ස්ට එක්වු නායක ඉයන් මෝර්ගන් තෙවැනි කඩුල්ලට ලකුණු 45ක සබඳතාවක් ගොඩනැගීය. ලකුණු 165 දී හේල්ස් දැවී යන විට ඔහු පන්දු 72කින් ලකුණු 82ක් ලබා සිටියේය.

එංගලන්ත ඉනිමේ විශිෂ්ටතම සබඳතාව ඉන් අනතුරුව ගොඩනැගෙන අතර සිව්වැනි කඩුල්ලට පිටියට පිවිසෙන ජෝස් බට්ලර්, නායක මෝර්ගන් සමඟ එක්ව කොදෙව් පන්දු යවන්නන් අන්දමන්ද කරමින් සිව්වැනි කඩුල්ලට පන්දු 122කින් ලකුණු 204ක් ලබා ගත්හ.

සිව්වැනි කඩුල්ල ලෙස මොර්ගන් දැවී යන විට ඔහු පන්දු 88කින් ලකුණු 103ක් ලබා සිටි අතර ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.

අනතුරුව ලකුණු 417 දී පස්වැනි කඩුල්ල ලෙස ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ ජෝස් බට්ලර් ලකුණු 150කට දැවී ගිය අතර පන්දු 77කින් වාර්තා වූ බට්ලර්ගේ සුපිරි ඉනිමට දැවැන්ත හයේ පහර 12ක් සහ හතරේ පහර 13ක් අන්තර්ගත විය.

ICC කමිටුව තුළ දී ඉන්දියාවට ගහන වගකීම PCB විසින් භාරගනියි

ක්‍රිකට් ලෝක කුසලානයට තවත් ඉතිරිව ඇත්තේ මාස….

කාලෝස් බ්‍රාත්වෙයිට් කොදෙව්වන් වෙනුවෙන් ලකුණු 69කට කඩුලු දෙකක් සහ ඕෂන් තෝමස් ලකුණු 84කට කඩුලු දෙකක් ද දවා ගත්තේය.

ඒ අනුව පන්දුවාර 50ක් තුල ලකුණු 419ක ඉලක්කය සම්පූර්ණ කිරීමට ක්‍රිස් ගේල් සමඟින් ජෝන් කැම්බෙල් කොදෙව් ඉනිම ආරම්භ කළ ද ආරම්භය අසාර්ථක කරමින් කැම්බෙල් ලකුණු 15ක් ලබා සිටිය දී මාර්ක් වුඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. අනතුරුව සායි හෝප් පිටියට පිවිසිය ද ඔහුට ද සාර්ථක වීමට ඉඩනොදී ලකුණු 5කට දවා ගැනීමට මාර්ක් වුඩ් සමත් විය.

පසුව තෙවැනි කඩුල්ලට ඩැරන් බ්‍රාවෝ පිටියට පිවිසි අතර කොදෙව්වන් ජයග්‍රාහී මාවත වෙත ප්‍රවිෂ්ට කිරීමට ශක්තිමත් අඩිතාලමක් දැමූ බ්‍රාවෝ ගේල් සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 176ක සබඳතාවයක් ගොඩනැගුවේය.

එහෙත් කොදෙව් ජයග්‍රහණයේ බලාපොරොත්තු සුන්කරමින් පන්දු 59කින් ලකුණු 61ක් ලබා සිටී බ්‍රාවෝගේ ඉනිම අවසන් කිරීමට යළි පන්දුව අතට ගත් මාර්ක් වුඩ් සමත් විය.

කෙසේ වෙතත් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් කිසිදු පීඩනයක් නොමැතිව ක්‍රිස් ගේල් එංගලන්ත පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වෙමින් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළේය.

අනතුරුව සිව්වැනි කඩුල්ලට ෂිම්රොන් හෙට්මයර් පිටියට පිවිසුණ ද ඔහුට ද වැඩි වෙලා පිටියේ රැඳී සිටීමට ඉඩනොදී පන්දු දෙකක් තුල එක් හයේ පහරක් පමණක් ලබා දී ආපසු ඔහු ක්‍රීඩාගාරයට හරවා යැවීමට මාර්ක් වුඩ් සමත් විය.

නායක ජේසන් හෝල්ඩර් පස්වැනි කඩුල්ලට පිටියට පිවිසි අතර ඔහු ගේල් සමඟ එක්ව ලකුණු 69ක සබඳතාවයක් ගොඩනැගීය.

මෙන්ඩිස්ගේ හරි අමුතු විශේෂත්වයක් තියෙනවා – ස්ටීව් රික්සන්

ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන්ගේ…..

කෙසේ වෙතත් ජයග්‍රහණයේ මාවත විවර වී ඇති අවස්ථාවක තරගයේ 34 වැනි පන්දුවාරයේ බෙන් ස්ටෝක්ස් යොමු කළ පළමු පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී ගේල්ගේ ඉනිම අවසන් වීමෙන් කොදෙව් ජයග්‍රහණයේ බලාපොරොත්තු සුන්විය.

කොදෙව් කණ්ඩායම ලකුණු 295ක් ලබා සිටිය දී පස්වැනි කඩුල්ල ලෙස ගේල් දැවී යන විට ඔහු පන්දු 97කින් වේගවත් ලකුණු 162ක් ලබා සිටි අතර ඊට දැවැන්ත හයේ පහර 14ක් සහ දර්ශනීය හතරේ පහර 11ක් ඇතුළත් විය.

ගේල්ගේ දැවී යාමෙන් පසුව කාර්ලෝස් බ්‍රාත්වෙයිට් පිටියට එක්වූ අතර එහෙත් ලකුණු 301 වන විට හෝල්ඩර්, ආදීල් රෂිඩ් යැවූ පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට ජෝස් බට්ලර් සමත් විය.

කෙසේ වෙතත් ඒ වන විටත් ලකුණු 119ක් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යව තිබුණ ද පිටියට පිවිසි ඇෂ්ලි නර්ස්, බ්‍රාත්වෙයිට් සමඟ එක්ව කොදෙව්වන් ජයග්‍රහණය වෙත රැගෙන යාමට තියුණු සටනක නිරත විය.

හත්වැනි කඩුල්ලට නර්ස් සමඟ එක්වු බ්‍රාත්වෙයිට් පන්දුවාර 11යි පන්දු 3ක් තුල ලකුණු 88ක් ලබා ගනිමින් කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ලබා දුන්නේය.

කෙසේ වෙතත් පන්දු 18ක් තුල ලකුණු 30ක් ලබා ගත යුතුව තිබිය දී 47 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ආදීල් රෂීඩ් කොදෙව්වන්ගේ ජයග්‍රහණයේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින් පන්දුවාරයේ දෙවන, තෙවැනි, පස්වැනි සහ හයවැනි පන්දු හතරෙන් පිළිවෙළින් ඈෂ්ලි නර්ස් (43), කාර්ලෝස් බ්‍රාත්වෙයිට් (50), දේවේන්ද්‍ර බිෂෝ (0) සහ ඕෂන් තෝමස් (0) ලෙස දවා ගැනීමට සමත් විය. ඒ අනුව කොදෙව් ඉනිම පන්දුවාර 48ක් තුල ලකුණු 389කට සීමා විය.

එංගලන්තය වෙනුවෙන් ආදීල් රෂීඩ් ලකුණු 85කට කඩුලු පහක් දවා ගත් අතර මාර්ක් වුඩ් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 60කට කඩුලු 4ක් දවා ගත්තේය.

විශිෂ්ට පිතිහරඹයක නිරත වු ජෝස් බට්ලර් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම තරගයේ ක්‍රිස් ගේල් ලබා ගත් ලකුණු 162ක් සමඟ ඔහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 10000 සීමාව පසුකර යාමට සමත් වූ අතර මොහු ජාත්‍යන්තර එක්දින පිටියේ මෙම දක්ෂතාවය දැක්වූ 14 වැනි ක්‍රීඩකයා මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දෙවැනි ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වේ.

එමෙන්ම මෙම තරගයේ ගේල් එල්ල කළ හයේ පහර 14ත් සමඟින් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හයේ පහර 300 සීමාව පසු කළ දෙවැනි ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එකතු විය. ඒ අනුව ඔහු දෙවැනි වන්නේ හයේ පහර 351ක් ලබා සිටින පාකිස්තානයේ සහිඩ් අෆ්රිඩිට පමණි.

එංගලන්තය: කඩුලු 6ක් දැවී 418 (50): ජෝස් බට්ලර් 150, ඉයන් මොර්ගන් 103, ඇලෙක්ස් හෙල්ස් 82, ජොනි බෙයාර්ස්ටෝ 56, කාර්ලෝස් බ්‍රාත්වෙයිට් 69/2, ඕෂන් තෝමස් 84/2

බටහිර ඉන්දීය කොදෙව්: 389 (48): ක්‍රිස් ගේල් 162, ඩැරන් බ්‍රාවෝ 61, කාර්ලෝස් බ්‍රාත්වෙයිට් 50, ඈෂ්ලි නර්ස් 43, ආදීල් රෂිඩ් 85/5, මාර්ක් වුඩ් 60/4

ඒ අනුව මේ වන විට දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2- 1ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන සිටින අතර පස්වැනි තරගය මාර්තු 02 වැනිදා පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<