ICC කමිටුව තුළ දී ඉන්දියාවට ගහන වගකීම PCB විසින් භාරගනියි

4761

ක්‍රිකට් ලෝක කුසලානයට තවත් ඉතිරිව ඇත්තේ මාස තුනක පමණ කාලයකි. ඒ උණුසුම මැදට යුධ උණුසුම ද කැන්දාගෙන එන්නට ඉන්දියානු – පාකිස්තානු දේශපාලනික අර්බුදය විසින් වේදිකාව තනාදී තිබේ.

එළඹෙන ජුනි 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දියාව තීරණය කළේ පසුගිය සති කිහිපයේදීය. ඊට සහාය දක්වමින් අදහස් පළකළ ආදී ක්‍රීඩකයන් , සහාය පළනොකළ ක්‍රීඩකයන් ද විය. එහෙත් ඒ සියල්ල සිදු වන්නේ ක්‍රීඩාවට දේශපාලන බලපෑම් සිදු නොවිය යුතුයයන්න මාධ්‍ය තුළින් නිතර නිතර ඇසෙන තත්වයකයි. කෙසේ නමුත් පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් පවසන්නේ අද (27) දින සිට ඉදිරියට ඩුබායිහි ICC මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන සාකච්ඡාවල දී මේ පිළිබඳව ඉන්දියානු බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බවයි.   

අදාළ මත ගැටුම ආරම්භ වූයේ පසුගිය ආදරවන්තයන්ගේ දිනයේ දී පාකිස්තානු ත්‍රස්ත කල්ලියක බෝම්බ ප්‍රහාරයකින් ඉන්දියානු භටයන් 40 දෙනෙකු පමණ මරු දැකීමත් සමඟ ය. ඒත් සමඟින් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවති ලෝක ශූරතා වෙඩි තැබීමේ තරගාවලිය වෙනුවෙන් පාකිස්තානුවන්ට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දියානු බලධාරීන් පියවර ගත්තේය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඒ පිළිබඳ සිය විරෝධය දක්වමින් කියා තිබුණේ ජාත්‍යන්තර තරගාවලි ඉන්දියාව තුළ පැවැත්වීම සඳහා සිදුකෙරෙන සාකච්ඡා වලින් තමන් ඉවත්වන බවයි.

“ඉන්දියාවට සත්කාරකත්වය තහනම්” – අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව

ඉන්දියාව විසින් ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීම සඳහා යොමු කෙරෙන සියලු අයදුම්පත් ප්‍රතික්ෂේප…

එය එසේ තිබිය දී තත්වය තවත් දරුණු කරමින් පසුගිය දා පාකිස්තාන දේශ සීමාවේ ස්ථානගතව සිටින පාකිස්තාන ත්‍රස්ත ඉලක්කවලට ඉන්දියාවෙන් ගුවන් ප්‍රහාර එල්ල විය. අද (27) වාර්තා වූයේ පාකිස්තානු ගුවන් සීමාව ඉක්මවූ ඉන්දියානු ජෙට් යානයකට පාකිස්තානයෙන් ප්‍රහාරයකුත්, පාකිස්තානු ජෙට් යානයකට ඉන්දියාවෙන් ප්‍රහාරයකුත් එල්ල වූ බවයි.

මේ පිළිබඳව ඩුබායි හිදී එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන් හිදී සාකච්ඡා වනු ඇතැයි බලාපොරොත්තු වේ. ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් විසින් තමන් ජුනි 16 වැනිදා පැවැත්වෙන තරගයට සහභාගී නොවන බව ලිඛිතව දැනුම් දෙන බව පැවසේ. එහි දී අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩල ද ඔවුන් හා එක්වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බව ද දැන ගන්නට ලැබුණි.

ඉන්දියාවට නිතරග ජයක් ඕනෙනම් අපට ඒකට කරන්න දෙයක් නැහැ. knock-out වටයේ දී ඔවුන් තරගයකට ආවොත් මොකද කරන්නේ කියලා අහන්න වෙනවා.” පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රකාශකයෙක් එසේ පවසා තිබුණි.

කෙසේ වෙතත් එක්දින ක්‍රිකට් පිටියේ මාරාන්තික සතුරන් දෙදෙනෙකු වන ඉන්දියානු සහ පාකිස්තානු කණ්ඩායම් ක්‍රිකට් පිටිය මත දී සටන් වදිනු දැකීම ක්‍රීඩාවට ආදරය කරන අප සියල්ලන්ගේම පැතුමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<