කොල්පැක් නිසා ද. අප්‍රිකා ක්‍රීඩකයෙකුට තාවකාලිකව ජාත්‍යන්තර ක්‍රිකට් අහිමි වේ

3123

දකුණු අප්‍රිකානු නැගීඑන වේගපන්දු යවන්නෙකු වන ඩුවාන් ඔලිවියර්ට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් තාවකාලිකව සමුගැනීමට සිදුව තිබේ. ඔලිවියර් එංගලන්තයේ යෝක්ෂයර් කණ්ඩායම සමඟ වසර 3ක කාලයක් සඳහා කොල්පැක් ගිවිසුමකට අත්සන් කිරීම මීට හේතුවයි.

ඒ අනුව අදාළ කාල සීමාව තුළ දී ඩුවාන් ඔලිවියර්ට දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව යනු ඇත.

දකුණු අප්‍රිකාවේ ප්‍රබලයෙක් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට

දකුණු අප්‍රිකා හිටපු නායකයෙකු සහ සුපිරි පිතිකරුවෙකු….

කොල්පැක් ගිවිසුමට (Kolpack Contract)  අත්සන් තැබීමේ දී එහි විශේෂත්වය වනුයේ එයට අත්සන් තබන ක්‍රීඩකයා තවදුරටත් විදෙස් ක්‍රීඩකයෙකු ලෙස පිලිනොගැනීමයි. ඒ අනුව එංගලන්ත දේශීය තරගාවලි වලදී ඔලිවියර් සලකනු ලබන්නේ දේශීය ක්‍රීඩකයෙකු ලෙසයි.

යුරෝපා සංගමයේ රටවල වැසියන් සඳහා වෙනත් යුරෝපා සංගමයේ රටක සේවය කිරීමට අවසර පවතින අතර මෙම කොල්පැක් නීතියේ දී සිදු වන්නේ යුරෝපා සංගමයේ ගිවිසුමට අත්සන් තබා ඇති සෙසු රටවලට ද අදාළ වරප්‍රසාදය හිමි වීමයි.

ඩුවාන් ඔලිවියර් මේ වන විට දකුණු අප්‍රිකාවේ සිටින ප්‍රධානතම වේගපන්දු යවන්නන් අතරින් එක් අයෙකු වන අතර නිමා වූ පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.

මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ  ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි පන්දු යවන්නන් අතර 19 වැනි ස්ථානය ඔලිවියර්ට හිමිව තිබේ. පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට්  තරගාවලියේ දී ඩුවාන් ඔලිවියර් කඩුලු 7ක් බිද හෙලීමට සමත් විය.

අන්තර්ජාතික ටෙස්ට් තරග 10ක දී දකුණු අප්‍රිකාව නියෝජනය කර තිබෙන ඔලිවියර් එහි දී දවාගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 48කි. ඔලිවියර් එක්දින තරග දෙකකට සහභාගී වී ඇති අතර එහි දී කඩුලු 3ක් දවා ගැනීමට ඔහු සමත්ව ඇත.

කොදෙව්වන්ගේ වාර්තාගත ඉනිමට රෝයි සහ රූට් අකුල් හෙළයි

ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වැඩිම ….

සිය මව්රටේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් උපයන මුදලට වඩා වැඩි මුදලක් උපයා ගැනීමේ අරමුණින් ක්‍රීඩකයින් මෙලෙස කොල්පැක් ගිවිසුම් යටතේ එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම්වලට එක්වීම මේ වන විට ප්‍රවණතාවක් බවට පත්ව ඇත.

මෙම කොල්පැක් ගිවිසුම යටතේ වසර හතක කාලයක් අදාළ ක්‍රීඩකයින් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට ක්‍රීඩා කළහොත් ඔහු එංගලන්ත ජාතික කණ්ඩායමට ද ක්‍රීඩා කිරීම සඳහා සුදුසු අයෙකු බවට පත් වීම ද විශේෂත්වයකි.

කොල්පැක් ගිවිසුමේ දී අදාළ එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම්වලට ලැබෙන වාසිය වන්නේ තවත් විදෙස් ක්‍රීඩකයෙකු සිය කණ්ඩායමට සම්බන්ධ කර ගැනීමට ලැබෙන අවස්ථාවයි. කොල්පැක් ගිවිසුමට පරිබාහිරව අදාළ කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයෙකු සිය කණ්ඩායමට එක්කර ගැනීමේ අවස්ථාව තිබේ.

එනම් කොල්පැක් ගිවිසුම මගින් ලබා ගන්නා ක්‍රීඩකයා දේශීය ක්‍රීඩකයෙකු ලෙස සලකමින් වෙනත් විදෙස් ක්‍රීඩකයෙකු ද අදාළ කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා ගිවිසුම් ගත කර ගැනීමේ හැකියාව අදාළ ප්‍රාන්ත කණ්ඩායම්වලට හිමිව තිබේ.

කෙසේ වෙතත් ඉදිරියේ දී බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමඟ කොල්පැක් ගිවිසුම් පවත්වා ගෙන යාමේ අර්බුදයකට ලක්විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. මීට පෙර රයිලි රොසෝව් සහ කයිල් ඇබට් කොල්පැක් ගිවිසුම් හේතුවෙන් ජාත්‍යන්තර පිටියෙන් ඉවත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<