යාපනය – කොළඹ උරෙන් උර ගැටෙන TPFC අවසන් සටන

ThePapare පාපන්දු ශූරතාවය 2022

310

පාසල් පාපන්දු පිටිය උණුසුම් කරමින් පසුගිය සති කිහිපය පුරාවට පැවැත්වෙන ThePapare පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගය එළඹෙන ඉරිදා (11) කොළඹ City League පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියල්ල සූදානම්.

පාසල් ක්‍රීඩකයින්ට සිය දස්කම් දැක්වීමට හිමිවන ඉහළ පෙළේ තරගාවලියක් වන ThePapare පාපන්දු ශූරතාවය මෙවර පැවැත්වුණේ වසර 3 විරාමයකට පසුවයි.

කණ්ඩායම් 16ක් ඉතා උණුසුම් ලෙස තරග වැදුණු මෙම තරගාවලියේ සිය ආධිපත්‍ය රඳවා ගත් මරදාන සාන්ත ජෝසප් ක්‍රීඩකයින් එක් අන්තයකින් අවසන් මහා තරගයට පිවිසෙද්දී, අනෙක් අන්තයෙන් යාපනයේ අභිමානය රැගෙන යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

සාන්ත ජෝසප් විද්‍යාලය, මරදාන

තරගාවලියේ සිටින ප්‍රබලතම කණ්ඩායම ලෙස බොහෝ දෙනා හඳුන්වන සාන්ත ජෝසප් විද්‍යාලය ThePapare පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි.

එක් වතාවක් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අවසන් වරට පැවැත්වූ තරගාවලියේ දී තෙවැනි ස්ථානය ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

තරගාවලියේ C කාණ්ඩය යටතේ තරග වැදුණු ඔවුන් සිය කාණ්ඩයේ සියලු තරග ජයග්‍රහණය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර ඔවුන් හමුවේ මූලික වටයේ දී මහනුවර කිංග්ස්වුඩ් (4-2), කඳාන ද මැසනඩ් (0-5), Hameed Al Husseinie (2-1) සහ රාජකීය විද්‍යාලය (4-1) පරාජයන් ලැබුවා.

අර්ධ අවසන් පූර්ව වටයේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමඟින් තරග වැදුණු සාන්ත ජෝසප් ක්‍රීඩකයින් එම තරගය ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයේ අසුනක් දිනා ගත්තා.

තීරණාත්මක අවසන් තරගයේ දී තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වූ යාපනය සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් ලබා දුන් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අතරින් පැතුම් ගිම්හාන ලබා ගත් ගෝලය නිසා දෙවැනි වතාවටත් ThePapare පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගන්නට ඔවුන් සමත් වුනා.

සාන්ත ජෝසප් කණ්ඩායම දෙස බැලීමේ දී ශ්‍රී ලංකා ජාතික යොවුන් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සහ දේශීය පාපන්දු පිටියේ පළමු පෙළ කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් එම කණ්ඩායමට ඇතුළත්.

ශ්‍රී ලංකා 20න් පහළ පාපන්දු කණ්ඩායමේ වත්මන් නායක තේෂාන් තුෂ්මික කණ්ඩායමේ වැඩිම අවධානය දිනා ගත් ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකි අතර ඔහුට අමතරව දේශීය පිටියේ ඉහළ දස්කම් දැක්වූ පැතුම් ගිම්හාන, ඇන්ඩෲ ද වාස් වැනි ක්‍රීඩකයින් කණ්ඩායමේ ප්‍රහාරක බල ඇණිය ශක්තිමත් කරනවා.

තරගාවලිය දෙස අවධානය යොමු කරද්දී සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ලාභියා වෙමින් ගෝල හතරක් වාර්තා කිරීමට දුමිඳු ආධිත්‍යට හැකිව තිබෙන අතර ඇන්ඩෲ ද වාස්, තාරුක අශාන්ත සහ ඩේවිඩ් කරුණාරත්න ගෝල තුන බැගින් ලබා සිටිනවා.

එමෙන්ම සාන්ත ජෝසප් ගෝල රකින්නා සහ පසුපෙළ ක්‍රීඩකයින් ද තරගාවලියේ හොඳ දස්කම් අතර සිටින අතර මේ දක්වා තරග පහක් තුළ ඔවුන් හමුවේ ලබා ගෙන ඇත්තේ ගෝල හතරක් පමණයි.

සාන්ත ජෝසප් කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙක් වන ඩේවිඩ් කරුණාරත්න අවසන් පූර්ව තරගයේ දී කහකාඩ් පතක් ලබා ගැනීම නිසා තීරණාත්මක අවසන් මහා තරගය ඔහුට අහිමි වීම කණ්ඩායමට විශාල පාඩුවක්.

නමුත් ඔවුන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාශය අවසන් මහා තරගයේ දීත් ප්‍රදර්ශනය කිරීමට ඔවුන්ට හැකි වුවහොත් දෙවැනි වතාවටත් ThePapare පාපන්දු කිරුළ සිය පාසලට රැගෙන යාමට ඔවුන්ට හැකි වනු ඇත.

යාපනය මධ්‍ය මහා විද්‍යාලය

තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායම වන යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් අවසන් මහා තරගයට පැමිණියේ ඉතා ප්‍රබල දස්කම් සමඟයි.

ඉහළ දස්කම් දැක්වුවත් පෙර තරගාවලි හී අවසන් මහා තරගයට පිවිසීමට අවාසනාවන්ත වූ  යාපනය ක්‍රීඩකයින් ThePapare පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයට පිවිසි පළමු අවස්ථාව මෙයයි.

A කාණ්ඩය යටතේ තරගාවලියට එක් වූ යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් මූලික වටයේ දී තරග දෙකක් ජයග්‍රහණය කර දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් කර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

මූලික වටයේ දී බදූරියා විද්‍යාලය (3-1) සහ කළුතර මුස්ලිම් විද්‍යාලය (2-1) පරාජය කළ යාපනය ක්‍රීඩකයින් කටුනේරිය සාන්ත සෙබස්තියන් (0-0) සහ කොළඹ සහිරා විද්‍යාල (0-0) අතර තරග ජය පැරදුමෙන් තොරව අවසන් කළා.

තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගයේ කොළඹ ගේට්වේ ක්‍රීඩකයින් සමඟින් තරග වැදි යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් එම තරගය අවසන් කළේ ගෝල 3-0ක ජයක් ලබලයි.

අවසන් පූර්ව තරගයේ දී තරගාවලියේ තවත් පෙරළිකාරී කණ්ඩායමක් වන කින්නියා Al Aqsa ක්‍රීඩකයින් මුණ ගැසුණු යාපනය ක්‍රීඩකයින් ගෝල 5-1ක් තරගය ජයග්‍රහණය කරමින් ඉතා ශක්තිමත් ව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

එස්. මිශාන්ත්, K. Santhuru, A. Sebastyaral, V. Abeshan, Pathmaraja Baskaran වැනි ප්‍රබල ඉදිරි පෙළකින් සමන්විත යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ මේ දක්වා ප්‍රතිවාදීන්ට ලබා දී ඇත්තේ ගෝල තුනක් පමණක් වීම ද විශේෂත්වයක්.

යාපනය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් මේ දක්වා ගෝල තුනක් ලබා ගනිමින්, V. Abeshan ගෝල ලබා ගත් ක්‍රීඩකයින් අතරේ පෙරමුණේ පසුවන අතර එස්. මිශාන්ත්, K. Santhuru සහ A. Sebastyaral ගෝල දෙක බැගින් වාර්තා කර තිබෙනවා.

තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ ආකාරය බැලීමේ දී තරගයේ මුළු කාලය පුරාවටම ඉතා හොඳ ජවයකින් ක්‍රීඩා කරන ආකාරය යාපනය ක්‍රීඩකයින්ගෙන් දක්නට ලැබෙන අතර අවසන් තරගයේ ද ඔවුන්ට එම රිද්මය පවත්වා ගැනීමට හැකිවුවහොත් කුළුඳුල් ThePapare කිරුළ යාපනයට රැගෙන යාමට ඔවුන්ට හැකි වනු ඇත.

පාසල් පාපන්දු පිටියේ දක්ෂයින් අභිෂේක ලබන ThePapare පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයේ උණුසුම සජීවීව විඳ ගන්න රැඳෙන්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<