සංජයගේ සටන්කාමී ඉණිම නොදැවී ඉදිරියටම

401
Sri Lanka development team V South Africa Emerging

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟයේ දෙවන දිනය අද (15) පොට්චෙෆ්ස්ට්රෑම් හිදී පැවැත්විණි. අද දිනය සඳහා තරඟය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංවර්ධන  කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 299ක් ලබාගැනීමට සමත් විය. මෙහිදී සංජය චතුරංග විශිෂ්ට ඉණිමක නොදැවී නිරත විය.

පසුගිය ලිපි: ජෙස්න් ගේ ශතකය නැගී එන කණ්ඩායමට සවියක් වෙයි

අද දෙවන දිනය සඳහා තරඟය ආරම්භ කරන විට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම පළමු ඉණිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 352ක් වාර්තා කර තිබුනි.

දෙවන දිනයේ උදෑසනම ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි හිසරදයක්ව වු ජේසන් ස්මිත්ව ලකුණු 124කට දවාලීමට අමිල අපෝන්සු සමත් විය. ජේසන් ගේ ඉණිම 4 පහරවල් 13කින් හා 6 පහරවල් 4කින් සමන්විත විය. දිනය ආරම්භක අවස්ථාවේදීම දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් ලකුණක් ලබාගන්නා විට කඩුලු 3 උදුරා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. කෙසේ වෙතත් අවසන් කඩුල්ල සඳහා ලකුණු 41ක සබඳතාවයක් ගොඩනැංවීමට පැට්රික් කුරුගර් හා නග්සිබිනි සිග්විලි සමත් විය. මෙහිදී කුරුගර් නොදැවී ලකුණු 58ක් ලබාගත් අතර ඔහුගේ ඉණිමට 4 පහරවල් 6ක් හා එක් 6 පහරක් එල්ල කරන ලදි. අමිල අපෝන්සු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම පළමු ඉණිම – 394 -10 (95.1): ජේසන් ස්මිත් 124,  පැට්රික් කුරුගර් 58*, ජොකොබ්ස් ලෙවුස් ඩියු ප්ලොයි 46, අමිල අපෝන්සු 5/95, කේෂාන් විජේරත්න 2/76

අනතුරුව තම පළමු ඉණිම ආරම්භ කල ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 76ක සාර්ථක සබඳතාවක් ගොඩනැංවීමට හෂාන් දුමිදු හා සඳුන් වීරක්කොඩි සමත් වූ අතර පළමු කඩුල්ල ලෙස දුමිදු 4 පහරවල් 3ක් සමඟ ලකුණු 20ක් ලබා සිටියදී දැවීයන ලදි.

අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 92කට කඩුලු 3ක් ලෙස සටහන් කරමින් සඳුන් ලකුණු 56කට දැවීගිය අතර ඔහුගේ ඉණිමට 4 පහරවල් 11ක් අන්තර්ගත විය. 4 වන කඩුල්ලේ සබඳතාවය ලකුණු 29ක් වනවිට එම සබඳතාවයටද තිත තබමින් එෂාන් මිලන්ත ලකුණු 19කට දැවීයන ලදි. නායක රුමේෂ් බුද්ධික ලකුණු 15ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු  124ක් වන විට කඩුලු 6ක් දැවීගොස් තිබිණි. 7 වන කඩුල්ල සඳහා ලකුණු 61ක දැකුම්කළු සබඳතාවයක් ගොඩනැංවූනු අතර එම සබඳතාවයේ හිමිකාරීත්වය සංජය චතුරංග හා නිමන්ත ප්‍රනාන්දුට හිමිවිය. නිමන්ත 4 පහරවල් 8ක්  සමඟ ලකුණු 39ක් ලබාගන්නා ලදි. ශෙහාන් මදුසංක හා අමිල අපෝන්සු පිළිවෙලින් ලකුණු 31ක් හා 24 ලබාගන්නා ලදි. සංජය චතුරංග දිනය නිමාවන විට ලකුණු 74*ක් ලබා ගනිමින් නොදැවී තරඟකාරී ඉණිමක් දියත් කරන බවක් පෙන්නුම් කල අතර බජ්රන් කාල් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන්  විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

දෙවන දිනය නිමාවන විට,

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම – 299-9 (72): සංජය චතුරංග 74*, සඳුන් වීරක්කොඩි 56, නිමන්ත ප්‍රනාන්දු 39, බජ්රන් කාල් වොර්චුවින් 6/99

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනය නිමාවන විට දකුණු අප්‍රිකානු පළමු ඉණිමට වඩා තවත් ලකුණු 95ක් පිටුපසින් සිටින අතර හෙට (16) තරගයේ තෙවන දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට