බ්‍රෝඩ් 500 සීමාව කරමින් එංගලන්තයට ආවේණික ජයක්

එංගලන්ත - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය 2020

251

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ තරග තුනකින් යුත් ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලිය 2-1ක් ලෙස සත්කාරක එංගලන්තය ජය ගත්තේ අද (28) දින නිමාව දුටු අවසන් ටෙස්ට් තරගයත් ලකුණු 269කින් ජය ගනිමිනි. ඒ අනුව මෙම තරගාවලිය සඳහා වෙන්වූ විස්ඩන් ශූරතාවය එංගලන්තයට හිමි විය.

ICCය ක්‍රිකට් ක්‍රීඩාවේ නැගී එන රටවල් අගයයි

මෙම තරගාවලි ජයග්‍රහණය එංගලන්තයටම ආවේණික ජයග්‍රහණයක් වන්නේ, 2000 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ පළමු ටෙස්ට් තරගය පරාජය වී ඉතිරි තරග දෙකම ජයගෙන තරගාවලියක් ජයග්‍රහණය කළ අවස්ථාවන් ගණන 15ක් වන අතර ඉන් 8ක්ම (මෙම තරගාවලි ජයග්‍රහණය ද සමඟ) සිදුකර ඇත්තේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමයි. එනම් අනෙක් ජාත්‍යන්තර ටෙස්ට් වරම් තිබෙන කණ්ඩායම් සියල්ලම මෙවැනි පෙරළිකාර ටෙස්ට් තරගාවලි ජයග්‍රහණ දිනා ඇත්තේ අවස්ථාවන් 7ක දී පමණි. 

දෙරට අතර පැවැත්වුණු තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මැන්චෙස්ටර්හි දී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුව පන්දු යවන ලදි. තරගයේ ගෙවී ගිය දින පහ තුළ අවස්ථාවන් කිහිපයක දී ම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් 1-1ක් ලෙස සම කරමින් තෙවැනි ටෙස්ට් තරගයට පැමිණි එංගලන්ත කණ්ඩායම සිය උත්සාහය අත්නොහරිමින් ප්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් ලබා දෙන ලදි. 

තීරණාත්මක තරගයේ මුල්ම ඉනිම දියත් කළ එංගලන්තය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 369ක් රැස්කර කළේය. එහි දී ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් ලකුණු 57ක් රැස්කර ගන්නා විට යොවුන් මැදපෙළ පිතිකරුවෙකු වන ඔලී පෝප් ලකුණු 91ක් රැස්කර ගත්තේය.

පසුපෙළ සවිමත් කරගැනීමට සමත් වූ ජෝස් බට්ලර් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් පිළිවෙළින් ලකුණු 67ක් සහ ලකුණු 62ක් වාර්තා කරගනිමින් එංගලන්ත ලකුණු පුවරුව තවදුරටත් ශක්තිමක් කිරීමට සහාය විය. පන්දු යැවීමේ දී කෙමාර් රෝච් කඩුලු 4ක් දවා ගන්නා විට ෂැනොන් ගේබි‍්‍රයල් සහ රෝස්ටන් චේස් අතරේ එංගලන්ත පළමු ඉනිමේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

එංගලන්තය දියත් කළ දැවැන්ත පළමු ඉනිමට පසුව කොදෙව් කී‍්‍රඩකයෝ තීරණාත්මක සහ අවසන් ටෙස්ට් තරගයේ දී පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 197ක් පමණි. එහි දී නායක ජේසන් හෝල්ඩර් හතරේ පහර 6ක් එල්ල කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 46ක් රැස්කර ගෙනය. 

ඒ අනුව ලකුණු 172ක වාසියක් සමඟ සිය දෙවැනි ඉනිම ආරම්භ කළ සත්කාරක එංගලන්ත පිතිකරුවෝ කඩුලු 2ක් දැවී ලකුණු 226ක් රැස්කර ගනිමින් සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළේ සංචාරක කොදෙව් දෙවැනි ඉනිම සඳහා ලකුණු 399ක දැවැන්ත ඉල්ලකයක් ලබා දෙමිනි.

පළමු ඉනිමේ දී මෙන්ම නැවතත් අර්ධ ශතකයක් වාර්තා කරගත් බර්න්ස් සිය ශතකය පෙනෙන මානයට පැමිණ ලකුණු 90ක් රැස්කර ගන්නා විට ඩොම් සිබ්ලි ලකුණු 56ක් වාර්තා කරගත්තේය. නායක ජෝ රූට් නොදැවී ලකුණු 68ක් රැස්කර ගත්තේ හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් එල්ල කරමිනි. 

තිතටම No-ball අල්ලන්න ICCයෙන් අලුත් වැඩක්! 

දැවැන්ත ලකුණු සටහනක් පසුපස හඹා යන නිසා ලැබෙන පීඩනය කළමනාකරණය කර ගැනීමට අසමත් වූ කොදෙව් මුල්පෙළ පිතිකරුවන්ට පළමු ඉනිම තුළ දී මෙන් හෝ සාර්ථක වීමට එංගලන්ත වේගපන්දු යවන්නෝ අවස්ථාවක් ලබා නොදුන්හ.

කොදෙව් පළමු ඉනිමේ කඩුලු 6ක් සහ දෙවන ඉනිමේ කඩුලු 4ක් දවා ගත් දකුණතින් වේගපන්දු යවන ස්ටුවර්ඩ් බ්‍රෝඩ්, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ කඩුලු 500 සීමාව පසුකළ 7 වැනි පන්දු යවන්නා සහ දෙවන එංගලන්ත පන්දු යවන්නා බවට පත්වූයේ රෝච්ගේ දෙවැනි ඉනිමේ කඩුල්ල දවා ගැනීමත් සමඟය. එංගලන්තය වෙනුවෙන් එවැනි දස්කමක් දක්වා තිබෙන අනෙක් ක්‍රීඩකයා වන්නේ ජේම්ස් ඇන්ඩර්සන් වන අතර ඔහුගේ ද 500 වැනි කඩුල්ල බවට පත්ව ඇත්තේ ද රෝච් වීම සුවිශේෂී වේ.

අවසානයේ කොදෙව් ඉනිම ලකුණු 129කට සීමා කළ ක්‍රිස් වෝක්ස් සහ බ්‍රෝඩ් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයෝ තෙවැනි ටෙස්ට් තරගය ලකුණු 269කින් ජය ගනිමින් මෙම තරගාවලිය 2-1ක් ලෙස ජයගත්හ. මෙම තරග ජයග්‍රහණය ද සමඟින් ලැබුණු ප්‍රසාද ලකුණු 40 ද සමඟ එංගලන්ත කණ්ඩායම ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා ප්‍රසාද ලකුණු සටහන තුළ තෙවැනි ස්ථානය දක්වා පැමිණියේ මුළු ප්‍රසාද ලකුණු 226ක් රැස්කර ගනිමිනි. 

ලකුණු සටහන

එංගලන්ත පළමු ඉනිම 369 –  ඔලී පෝප් 91, ජොස් බට්ලර් 67, ස්ටුවර්ට් බ්‍රෝඩ් 62, රෝරි බර්න්ස් 57, කෙමාර් රෝච් 4/72. 

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම 197 – ජේසන් හෝල්ඩර් 46, ස්ටුවර්ට් බ්‍රෝඩ් 6/36. 

එංගලන්ත දෙවැනි ඉනිම 226/2d – රෝරි බර්න්ස් 90, ජෝ රූට් 68*, ඩොම් සිබ්ලි 56.

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම 129 – ක්‍රිස් වෝක්ස් 5/50, ස්ටුවර්ට් බ්‍රෝඩ් 4/36. 

  • තරගයේ වීරයා – ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය) 
  • තරගාවලියේ සම වීරයින් – ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය) සහ රෝස්ටන් චේස් (බටහිර ඉන්දීය කොදෙව්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<