තිතටම No-ball අල්ලන්න ICCයෙන් අලුත් වැඩක්!

600

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර මේ දිනවල ක්‍රියාත්මක වන ටෙස්ට් තරගාවලිය කෙරෙහි බොහෝ පාර්ශවයන්ගේ අවධානය යොමුව තිබෙන්නේ එහි දී ලබා දුන් ඇතැම් විනිසුරු තීරණ සම්බන්ධයෙන් යම් කතිකාවතක් මේ වන විට නිර්මාණය වෙමින් පවතින නිසාවෙනි.

ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට දින තීන්දුයි

වත්මන් ක්‍රිකට් නීති රීතීන්ට අනුකූලව ඉදිරි පාදයේ නිපන්දු පිළිබඳ අවසන් තීරණ‍ය ලබා දීමේ පූර්ණ බලය පිටියේ විනිසුරුතුමන් සතු වන අතර එංගලන්ත-කොදෙව් පළමු ටෙස්ට් තරගය අතරතුර දී ප්‍රධාන විනිසුරුවන් දෙදෙනා අතින් සිදු වූ අඩුපාඩු සම්බන්ධයෙන් ඉහළ බලධාරීන්ගේ අවධානය මේ වන විට දැඩිව යොමුව තිබේ.

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මංගල ICC ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ICCය  පියවර ගෙන තිබෙන්නේ ඉදිරි පාදයේ නිපන්දු සටහන් කිරීමේ සම්පූර්ණ බලය තෙවැනි විනිසුරුතුමන් වෙත පවරමිනි. 

ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා (30) ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත අයර්ලන්ත-එංගලන්තය එක්දින තරගාවලිය සඳහා මෙම නව නීති සංශෝධනය හඳුන්වා දීමට කටයුතු කොට ඇති බව සඳහන් වේ. 

සීමිත පන්දුවාර තරගයන් හීදී අතිශය තීරණාත්මක සාධකයක් ලෙස සැලකෙන නිපන්දු කෙරෙහි මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් මින් ඉහත දී පෙන්වා දී තිබුණේ විනිසුරු ඇසට හසු නොවීම නිසාවෙන් ඇතැම් ක්‍රීඩකයින්ට මෙන්ම කණ්ඩායම්වලට ද දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව තිබෙන නිසාවෙනි. 

ක්‍රිකට් වසන්තයට නැවත පනගන්වමින් LPL වලට දින තීන්දුයි!

මෙම තත්වය හමුවේ පසුගිය වසර අවසානයේ දී පැවති කොදෙව්-ඉන්දීය එක්දින තරගාවලිය අතරතුර දී වීඩියෝ තාක්ෂණ ක්‍රමවේදය ඔස්සේ ඉදිරි පාදයේ නිපන්දු හඳුනා ගැනීමේ වැඩපිළිවෙළ අත්හදා බැලූ අතර එහි දී අත්පත් කරගෙන තිබූ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් මෙම වසරේ දී නිමාව දුටු කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා එය ආදේශ කිරීමට තරගාවලි සංවිධායක කමිටුව පියවර ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයුම් භාර ප්‍රධාන විධායක නිලධාරි Geoff Allardice මහතා සිදු කිරීමට යන නව වෙනස්කම පිළිබඳව මෙසේ තම අදහස් පළකොට සිටියේය.

“සීමිත පන්දුවාර තරගවල දී නිදහස් පහර (Free Hit) අවස්ථාවක් කියන්නේ සෑහෙන වටිනවා. ඒක නිසා හරියාකාරව නිපන්දු හඳුනා ගැනීම තරගයේ තීරණය වෙනස් කරන්න දැඩිව බලපාන බව මෙහි දී මතක් කරලා දෙන්න කැමති. ඉදිරියේ දී ඒක නිසා අඩුපාඩු අවම කරලා සියයට සියයක් නිවැරදිම තීන්දු තීරණ ලබා දෙන්න අපිට පුළුවන් වේවි. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය පුරාවට මෙම ක්‍රමය බලාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<