මැතිව්ස් ශ්‍රී ලංකා “A” එක්දින කණ්ඩායමට

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

2506

ශ්‍රී ලංකා “A” කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා “A” කණ්ඩායමට අත්දැකීම් බහුල ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කැඳවා තිබෙනවා.

තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 35 වැනි වියේ පසු වන මැතිව්ස් වසර දෙකකින් ජාත්‍යන්තර එක්දින තරගයක් ක්‍රීඩා කර නැහැ.

නමුත් එංගලන්ත ලයන්ස් සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා මැතිව්ස් ඇතුළත් කිරීම හරහා, සීමිත පන්දුවාර සංචිතය සඳහා තේරීම් කමිටු නිලධාරීන් තවමත් මැතිව්ස් පිළිබඳව සලකා බලන බව තහවුරු වෙනවා.

මැතිව්ස් අවසන් වරට ජාත්‍යන්තර එක්දින තරගයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ 2021 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියේ දීයි.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහි තරගාවලියේ පළමු තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා “A” සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත් වන අතර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ කඩුලු රකින පිතිකරු සදීර සමරවික්‍රම හටයි.

පළමු එක්දින තරගයට නම් කළ ශ්‍රී ලංකා A කණ්ඩායම,

සදීර සමරවික්‍රම (නායක), අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම, ප්‍රමෝද් මධුශාන්, දුෂාන් හේමන්ත, මිලාන් රත්නායක, කවිෂ්ක අංජුල, ලහිරු උදාර, නිපුන් ධනංජය, සුමින්ද ලක්ෂාන්.

ශ්‍රී ලංකා “A” සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින තරගාවලිය මෙම මස 15, 18 සහ 21 යන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<