දශක දෙකකට පසු කොදෙව්වන්ට ඓතිහාසික ජයක්

2000

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සවුතම්ප්ටන්හීදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව්වන් ඊයේ (12) සමත් විය. 

කොරෝනා වසංගතය හේතුවෙන් මාස 4ක දිගු නිහැඬියාවකින් අනතුරුව පැවති පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වශයෙන් මෙම තරගය පැවැත්වූයේ නව සෞඛ්‍යාරක්ෂිත නීති රීති යටතේ ය.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත වැඩ බලන නායක බෙන් ස්ටෝක්ස් තීරණය කළේය. පුද්ගලික හේතුවක් නිසා මෙම තරගයට ක්‍රීඩා නොකළ එංගලන්ත නිත්‍ය ටෙස්ට් නායක ජෝ රූට් වෙනුවට ඔහු මෙම තරගයේ දී කණ්ඩායම මෙහෙයවීය. 

සුපිරි ඉන්දීය පිතිකරුවා ඉවත් කළේ කාගේ උවමනාවට ද?

නමුත් තරගය ආරම්භයේ පටන්ම තම අණසකට නතුකරගත් කොදෙව් වේගපන්දු බලඇණිය එංගලන්ත පළමු ඉනිම ලකුණු 204කට සීමා කළේ කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ට කඩුලු 6ක් හා ශැනන් ගේබ්‍රල්ට කඩුලු 4ක් හිමිකර දෙමිනි. 

එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ බෙන් ස්ටෝක්ස් ලකුණු 43ක් ලබා ගත් අතර ඊට අමතරව ජොස් බට්ලර් හා ඩොම් බෙස් පිළිවෙළින් ලකුණු 35ක් හා 31ක් බැගින් ලබා ගත්තේය.

අනතුරුව තම පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රැත්වේට් ලකුණු 65ක් ලබා ගත්තේය. ඊට අමතරව කොදෙව් පිතිකරණයේ පහළ මැදපෙළ ශක්තිමත් කළ ශේන් ඩෝව්රිච් ලකුණු 65ක් ලබා ගත් අතර ඔහුට අනගි සහයක් ලබා දුන් රොස්ටන් චේස් ලකුණු 47ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී නායක බෙන් ස්ටෝක්ස් කඩුලු 4ක් හා ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව පළමු ඉනිමේ ලකුණු 109ක් පසුපසින් තම දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්තය අතිසාර්ථක ආරම්භයක් ලබා ගත්තේ වරක 249/3ක් වශයෙන් ලකුණු පුවරුව සටහන් කරමිනි. එහි දී එංගලන්තය වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා බවට පත් වූ සක් ක්‍රෝලි ලකුණු 76ක් වාර්තා කළේය. ඊට අමතරව ආරම්භක පිතිකරු ඩොම් සිබ්ලි ලකුණු 50ක් හා නායක බෙන් ස්ටෝක්ස් ලකුණු 46ක් වාර්තා කළේය.

සංචිතයෙන් ඉවත් කිරීම ගැන එංගලන්ත වේගපන්දු යවන්නා කනස්සල්ලෙන්

එහෙත් නොසිතූ පරිදි නැවතත් ක්‍රියාත්මක වූ කොදෙව් වේගපන්දු යවන්නන් එංගලන්ත ඉතිරි කඩුලු 7 ලකුණු 64ක් තුළ දවා ගනු ලැබුවේ ඔවුන්ගේ දෙවන ඉනිමත් ලකුණු 318කට සීමා කරමිනි. පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශැනන් ගේබ්‍රල් කඩුලු 5ක් වාර්තා කළේ සමස්ත තරගය තුළ කඩුලු 9ක් දවා ගනිමිනි. 

මේ අනුව කොදෙව්වන්ට ලකුණු 200ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි විය. එහෙත් සිතූ පරිදි එම ඉලක්කය පහසු ඉලක්කයක් බවට පත් නොවූයේ ඔවුන්ගේ මුල් කඩුලු 3ම ලකුණු 27ක් තුළ දැවී යාම හේතුවෙනි. 

නමුත් ඉන් අනතුරුව කොදෙව් ඉනිමේ සම්පූර්ණ බර තම කර මතට දරා ගත් ජර්මේන් බ්ලැක්වුඩ් ලකුණු 95ක සටන්කාමී ඉනිමක් දියත් කළේ කොදෙව්වන්ව ජයග්‍රහණය කරා සංයමයෙන් රැගෙන යමිනි. ඔහුට අනගි සහයක් ලබා දුන් රොස්ටන් චේස් ලකුණු 37ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී ජොෆ්රා ආචර් හා බෙන් ස්ටෝක්ස් පිළිවෙළින් කඩුලු 3ක් හා 4ක් දවා ගනු ලැබීය.

KKR අසාර්ථක වෙන්න හේතුව මම නෙමෙයි – ගංගුලි

මේ අනුව කොදෙව්වන් තම ජයග්‍රාහී ඉලක්කය කඩුලු 6ක් දැවී සපුරා ගැනීමට සමත් වූයේ කඩුලු 4ක ජයක් වාර්තා කරමිනි. තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ශැනන් ගේබ්‍රල් සමත් විය. කොදෙව්වන් මෙලෙස එංගලන්ත භූමියේ දී ටෙස්ට් ජයක් වාර්තා කිරීමට සමත් වූයේ වසර 20කින් අනතුරුව වීම මෙම ජයග්‍රහණයේ සුවිශේෂීත්වයයි. 

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන 16 වැනිදා (බ්‍රහස්පතින්දා) මන්චෙස්ටර්හීදී ආරම්භ වීමට නියමිතව ඇත.

එංගලන්ත පළමු ඉනිම – 204/10: බෙන් ස්ටෝක්ස් 43, ජොස් බට්ලර් 35, ඩොම් බෙස් 31, ජේසන් හෝල්ඩර් 6/42, ශැනන් ගේබ්‍රල් 4/62

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම – 318/10: ක්‍රේග් බ්‍රැත්වේට් 65, ශේන් ඩෝව්රිච් 61, රොස්ටන් චේස් 47, බෙන් ස්ටෝක්ස් 4/49, ජේම්ස් ඇන්ඩරසන් 3/62

එංගලන්ත දෙවන ඉනිම – 313/10: සක් ක්‍රෝලි 76, ඩොම් සිබ්ලි 50, බෙන් ස්ටෝක්ස් 46, ශැනන් ගේබ්‍රල් 5/75, අල්සාරි ජෝසප් 2/45

බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිම – 200/6: ජර්මේන් බ්ලැක්වුඩ් 95, රොස්ටන් චේස් 37, ශේන් ඩෝව්රිච් 20, ජොෆ්රා ආචර් 3/45, බෙන් ස්ටෝක්ස් 2/39

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<