ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ නායකත්වය වෙල්ලාලගේට

බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

726

බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාලගේ වෙත ලබා දී තිබෙනවා.

මේ සංචිතය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙක් ඇතුළත් වන අතර ජාත්‍යන්තර යොවුන් එක්දින ක්‍රිකට් තරග 5කින් සමන්විත මේ තරගාවලිය ඔක්තෝබර් 15 වැනිදා සිට 25 වැනිදා දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

දිවයින පුරා සංවිධානය කෙරුණු දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ වැඩසටහන්වලින් තෝරාගන්නා ලද 75 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයින් අතරින් 26ක් තෝරාගෙන, පසුගිය සැප්තැම්බර් 9 වැනිදා සිට දින 22ක කාලයක් තිස්සේ පුහුණු නේවාසික කඳවුරක් කොළඹ දී ඔවුන් වෙනුවෙන් පැවැත්වුනා. කොළඹ SSC පිටියේ දී පැවති එම පුහුණු කඳවුර ජෛව ආරක්ෂිත වටපිටාවක් තුල සංවිධානය වුනා.

19න් පහළ කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස වැඩ භාර ගත් අවිශ්ක ගුණවර්ධන, උපුල් චන්දන (පන්දු රැකීමේ පුහුණුකරු), චමිල ගමගේ (වේගපන්දු පුහුණුකරු), සචිත් පතිරණ (දඟපන්දු පුහුණුකරු) සහ ධම්මික සුදර්ශන (පිතිකරණ පුහුණුකරු) යන පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ මෙම පුහුණු කඳවුර පැවැත්වුණා.

එහි දී ඔවුන්ගේ නිපුණතා අධ්‍යනය, ශරීර සුවතා ඇතුළු විශේෂ පුහුණු සැසි කිහිපයකට සහභාගී වුනු එම ක්‍රීඩකයින් හට කඳවුර අවසානයේ දී පන්දුවාර 50 තරග 3ක් සඳහා ද ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණා.

එහි දී දස්කම් දැක්වූ සහ තරගාවලිය සඳහා අවශ්‍ය පරිදි සමබර සංයුතියක් සකස් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා පත් කර ගෙන තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක වෙල්ලාලගේ ඒ සංචිතය තුල සිටින තවත් එක් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන අතර ඔහුට අමතරව රවීන් ද සිල්වා, යසිරු රොද්‍රිගෝ, මතීෂ පතිරණ සහ චමිඳු වික්‍රමසිංහ යන ක්‍රීඩකයින් මින් පෙර ද ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නියෝජනය කරමින් අත්දැකීම් ලබාගෙන තිබෙනවා.

මතීෂ නිමා වූ 2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී Bangla Tiger නියෝජනය කරමින් තරග 3කට සහභාගී වී විදෙස් ක්‍රීඩකයින් සමඟ ඉහළ මට්ටමේ ජාත්‍යන්තර තරගාවලි අත්දැකීම් ද ලබාගෙන තිබෙනවා.

තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම අද (7) දිවයිනට පැමිණීමට නියමිත අතර, තරගාවලිය පැවැත්වෙන්නේ ජෛව ආරක්ෂිත බුබුලක් තුලයි. ඒ නිසාවෙන් තරග නැරඹීම සඳහා කිසිදු ප්‍රේක්ෂකයෙකුට අවස්ථාවක් හිමිවන්නේ නැහැ. එසේම මේ සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ද අද දිනයේ දී දඹුල්ල සඳහා පිටත්ව යනවා.

මේ වසරේ දෙසැම්බර් මාසයේ දී 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි හිදී පැවැත්වීමට නියමිත අතර ඉන්පසුව 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ජනවාරි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා පෙර සූදානම් වීමක් ලෙස ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සහ වත්මන් යොවුන් ලෝක ශූරයින් වන බංග්ලාදේශය සමඟ මේ එක්දින තරග 5 සැලසුම් කර තිබෙනවා. අවසන් වරට 19න් පහළ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියේ 2019 මැයි – ජුනි කාලයේ දී වන අතර පාකිස්තානය සමඟ පැවති එම යොවුන් එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය: දුනිත් වෙල්ලාලගේ (නායක – සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ), රයන් ප්‍රනාන්දු (සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස), රවීන් ද සිල්වා (නාලන්ද විද්‍යාලය, කොළඹ), සදීෂ රාජපක්ෂ (රාජකීය විද්‍යාලය, කොළඹ), ජීවක ශෂීන් (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), පවන් පතිරාජ (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), චමිදු වික්‍රමසිංහ (සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට), විනුජ රන්පුල් (නාලන්ද විද්‍යාලය, කොළඹ), සදීෂ් ජයවර්ධන (සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ), ශෙවෝන් ඩැනියෙල් (සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ), හරිඳු ජයසේකර (සාන්ත තෝමස් විද්‍යාලය, මාතර), ලහිරු දවටගේ (සාන්ත පීතර විද්‍යාලය, කොළඹ), සසංක නිර්මාල් (දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල), මල්ෂ තරුපති (මාදම්පා මැදි විදුහල, අම්බලන්ගොඩ), වනුජ සහන් (සාන්ත පීතර විද්‍යාලය, කොළඹ), දනාල් හේමානන්ද (සාන්ත පීතර විද්‍යාලය, කොළඹ), ට්‍රෙවින් මැතිව්ස් (සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට), යසිරු රුද්‍රිගෝ  (සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස), මතීෂ පතිරණ (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), ලහිරු අබේසිංහ (සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට)

තරග කාලසටහන,

  • පළමු යොවුන් එක්දින තරගය – ඔක්තෝබර් 15
  • දෙවන යොවුන් එක්දින තරගය – ඔක්තෝබර් 18
  • තෙවැනි යොවුන් එක්දින තරගය – ඔක්තෝබර් 20
  • සිව්වැනි යොවුන් එක්දින තරගය – ඔක්තෝබර් 23
  • පස්වැනි යොවුන් එක්දින තරගය – ඔක්තෝබර් 25

(සැ.යු – මේ තරග සියල්ලම දඹුල්ලේ දී පැවැත්වෙනවා)

බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ඇතුළු ලොව පුරා දෙස් විදෙස් කෙළිබිමේ තතු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<