සුපිරි ඉන්දීය පිතිකරුවා ඉවත් කළේ කාගේ උවමනාවට ද?

703
Rahane

කලක් ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පිතිකරුවෙකු ලෙස සුවිශේෂී දස්කම් පෑ අජින්ක්‍යා රහනේ එක්වරම එක්දින සංචිතයෙන් ඉවතට ඇඳී යාමේ හේතුව කුමක් දැයි තමන්ට ප්‍රශ්නාර්ථයක් බව හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වන ආකාශ් චොප්රා ප්‍රකාශ කර සිටියේ YOUTUBE නාලිකාවක් ඔස්සේ විකාශය වූ සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමිනි.

>> KKR අසාර්ථක වෙන්න හේතුව මම නෙමෙයි – ගංගුලි

එක්දින තරග 92කට දායකත්වය ලබා දී ඇති රහනේ එහි දී ලකුණු 2962ක් වාර්තා කිරීමට සමත් වී තිබෙන්නේ 35.26ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එහි දී ආරම්භක පිතිකරු භූමිකාවේ සිට අංක 4 පිතිකරුවා දක්වා ඇති සියලුම ස්ථානයන්හී ක්‍රීඩා කර ඇති රහනේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අවස්ථා 54ක දී ඉනිම ආරම්භ කොට තිබෙන්නේ ශතක ත්‍රිත්වයක හිමිකාරිත්වය ද ඔහු නමින් සටහන් කරගනිමිනි. 

අංක 4 පිතිකරුවා ලෙස ඉනිම් 24ක දී ලකුණු 843ක් ද රැස්කර ගැනීමට ඔහු සමත්කම් දක්වා තිබෙන්නේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 35.65ක් වැනි සැලකිය යුතු අගය පරාසයක රඳවා ගනිමිනි.

කෙසේ නමුත් 2018 වසරේ ක්‍රියාත්මක වූ  ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයෙන් අනතුරුව අපේක්ෂා කළ අයුරින් දක්ෂතා අතරට පැමිණීමට රහනේ අසමත් වූ අතර තරග තුනක දී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වී යාමට බලපෑ ප්‍රධානතම හේතුව බවට පත් විය.

තරග කිහිපයක් අසමත් වූ පමණින් යම් පිතිකරුවෙකු අසාර්ථක යැයි හංවඩු ගැසීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඕනෑම ක්‍රීඩකයෙකු හට අපහසු කාලසීමාවන්ට මුහුණ දීමට සිදු වන නිසාවෙන් එය තේරුම් ගනිමින් අදාළ ක්‍රීඩකයාට යලි හිස එසවීමට අවස්ථාවක් ලබා දීම පුහුණුකරුවන්ගේ සහ කළමනාකාරිත්වයේ වගකීමක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

>> දකුණු අප්‍රිකානු පන්දු යවන්නාට වටෙන්ම දොස්මුර!

“ඔහු අංක 4 ස්ථානයේ ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ලබා දුන්න අවස්ථාවලින් ඔහුට හැකි උපරිමය කරලා පෙන්නුවා. මේ කාරණා මම කියන නිසා පිළිගන්න කියනවා නෙමෙයි. රහනෙගේ පහුගිය තරග වාර්තා අරන් බැලුවම ඕනම කෙනෙක්ට තේරෙනවා ඔහු ඔය කියන තරම් අසාර්ථක පුද්ගලයෙක් නෙමෙයි කියලා. එක පාරටම සංචිතයෙන් අයින් කරල දාන්න තරම් ඔහු නුසුදුස්සෙක් කියලා මම හිතන්නේ නැහැ. මම අහන්නේ ඇයි  දක්ෂතා අතරට එන්න තිබ්බ කාලය ඔහුට අහිමි කරේ?”

“අපි එංගලන්තය වගේ ක්‍රීඩා කරන කණ්ඩායමක් නෙමෙයි. මොකද ඒගොල්ලො හැම තරගෙකදිම උත්සාහ කරන්නේ ලකුණු 350 සීමාව පන්නලා ගහන්න. ඊට පස්සේ තරගය එයලාගේ පැත්තට කැරකුනත් එකයි නැතත් එකයි. ඒ වගේ ආකල්පයක ඉඳන් ක්‍රීඩා කරන කණ්ඩායමක් නෙවෙයි මම දන්න ඉන්දියාව නම්. අපි හැමදාමත් ගැහුවේ සාම්ප්‍රදායික, අපිටම ආවේණික වුන ක්‍රිකට් එකක්. අපි ලකුණු 325ක් වගේ ලකුණු සංඛ්‍යාවක් රැස් කරන්නේ පියවරෙන් පියවර, සැලැස්මක් ඇතිව. හොඳ පිතිකරුවෙක් වටේ අනෙක් පිතිකරුවො එයලාගේ ඉනිම ගොඩනඟනවා. අන්න ඒවගේ නැංගුරමක් තමයි රහනේ කියන්න. අවාසනාව කියන්නේ ඔහුට තාමත් සීමිත පන්දුවාර කණ්ඩායමේ ඉඩක් නැති එකයි.”

2014 වසරේ දී රෝහිත් ෂර්මාගෙන් පුරප්පාඩු වූ ආරම්භක පිතිකරු භූමිකාව රඟ දැක්වීමේ වරම රහනේ හට උදා වූ අතර ඔහු තේරීම් කමිටුවේ එම තීරණයට සාධාරණයක් ඉටු කළේ එම වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ දී අර්ධ ශතක ද්විත්වයක් සහ එංගලන්තයට එරෙහිව එඩ්ජ්බැස්ටන් හීදි ශතයක් ද වාර්තා කරමිනි. 

2017 වසරේ දී ද ඕස්ට්‍රේලියාවට එරෙහිව පිට පිට අර්ධ ශතක හතරක් රැස් කළ රහනේ එම රිද්මය එලෙසම පවත්වා ගනිමින් දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු තරගයේදීත් ඔහුගේ පිත්ත ක්‍රියාත්මක කළේ අගනා ලකුණු 79කින් ප්‍රතිවාදීන් හට සංග්‍රහ කරමිනි.

>> සංචිතයෙන් ඉවත් කිරීම ගැන එංගලන්ත වේගපන්දු යවන්නා කනස්සල්ලෙන් 

නමුත් ඉන් පසුව පැවති තරග තුන ඔහුගේ ඉරණම විසඳන්නට වූයේ රහනේ නොසිතූ අයුරින් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාමත් සමඟිනි. තරග ත්‍රිත්වයක් අසමත් වූ සැණින් කණ්ඩායමේ ස්ථානය අහිමි වන රහනේට ඉන් පසු ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට තිබූ අනගි අවස්ථාව ද මඟ හැරිගියේ බලධාරීන්ගේ නොසැලකිලිමත් නිසාවෙන් බව චොප්රා මහතා තරයේ ප්‍රකාශ කොට තිබුණි

“මගේ මතයට අනුව නම් රහානේ ලකුණු අතර ඉන්නකොට කණ්ඩායමෙන් එළියට ඇඳලා දාපු එක ඔහුට කරපු ලොකුම අසාධාරණයක්. කොච්චර හොඳට සෙල්ලම් කරත් අවසානයේ දී සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නෙ නැත්තන් වැඩක් නැහැ. අනිවාර්‍යෙන්ම ඉදිරියේදි ඔහුට නැවතත් අවස්ථාවක් ලබා දිය යුතුයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<