සංචිතයෙන් ඉවත් කිරීම ගැන එංගලන්ත වේගපන්දු යවන්නා කනස්සල්ලෙන්

444

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ආරම්භක ටෙස්ට් තරගය සඳහා සහභාගී වන සංචිතයෙන් තමා ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින බව එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් පවසා ඇත.

තරගය සඳහා තමා එක්කර නොගැනීම සම්බන්ධයෙන් ස්ටුවර්ට් බ්‍රෝඩ් තරමක ආවේගශීලී අයුරින් ප්‍රතිචාර දක්වා තිබුණු අතර කොදෙව් කණ්ඩායම සමඟින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගී වන එංගලන්ත වේගපන්දු බලඇණියට ජේම්ස් ඇන්ඩර්සන්, මාක් වුඩ් සහ ජොෆ්රා ආචර් ඇතුළත්ව ඇත.  කණ්ඩායමේ එකම දඟපන්දු යවන්නා ලෙස ඩොම් බෙස් ක්‍රීඩා කරයි. 

දකුණු අප්‍රිකානු පන්දු යවන්නාට වටෙන්ම දොස්මුර!

ස්ටුවර්ට් බ්‍රෝඩ්ට ටෙස්ට් කඩුලු 500 සීමාව පසුකර යාමට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 15ක් පමණක් වන අතර තේරීම් කමිටුවේ තීරණය පිළිබඳව තමා “කලකිරීමට” හා “කෝපයට” පත්ව ඇති බව බ්‍රෝඩ් හෙළිකළේය.

“මම එතරම් හැඟීම්බර පුද්ගලයෙක් නෙමෙයි. ඒත් පසුගිය දින කිහිපය මට ඒ විදිහට ඉන්න ටිකක් අමාරු වුනා” බ්‍රෝඩ් sky sports වෙත පවසා තිබිණි.

“මම කලකිරුණා යැයි කීම අඩු තක්සේරුවක් කියලා මම හිතන්නේ. ඔබ අතින් ඔබේ දුරකථනය බිම වැටිලා ඒකේ තිරය කැඩුනොත් ඔබ කලකිරීමට පත් වෙනවා. ඒත් මේක එහෙම දෙයක් නෙමෙයි.”

“මම කලකිරිලා ඉන්නේ. ඒ වගේම කෝපයට හා කම්පනයට පත්ව ඉන්නේ. ඒක තේරුම් ගැනීමට අපහසු දෙයක්. පසුගිය වසර කිහිපය තුළ මම මෙතෙක් කල් දැක්වූ දක්ෂතාවල උපරිමය දැක්වුවා. මම අළුබඳුන තරගාවලිය සඳහා කණ්ඩායමේ හිටියා. ඒ වගේම දකුණු අප්‍රිකාවට ගිහින් ඒ තරගාවලිය ජයග්‍රහණය කරන්න මම උදව් කළා.” 

එංගලන්ත කණ්ඩායම සහභාගී වූ පසුගිය තරගාවලි දෙකෙහි බ්‍රෝඩ් සුවිශේෂී දායකත්වයක් ඉටු කළේය. දකුණු අප්‍රිකා සංචාරයේ දී ඔහු එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා විය. එහි දී ඔහු කඩුලු 14ක් දවා ගත්තේ 19.42ක සාමාන්‍යයක් වාර්තා කරමිනි. 

අළුබඳුන තරගාවලියේ දී ඔහු කඩුලු 23ක් දවා ගනිමින් එංගලන්තයට තරගාවලිය සමකිරීමට ප්‍රබල භූමිකාවක් ඉටු කළේය. කෙසේ වෙතත් මෙම තීරණය පිළිබඳව ජාතික තේරීම් කමිටුවේ සභාපති එඩ් ස්මිත් සමඟ තමා කතා කළ බව බ්‍රෝඩ් පවසා සිටියේය. 

2021 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ දී

“මම ඊයේ රාත්‍රියේ එඩ් ස්මිත් සමඟ කතා කළා. ඔහු මට කිව්වා මේ තරගයට ක්‍රීඩා කරන 13 දෙනා තෝරා ගන්න ඔහු සම්බන්ධ වුන බව. ඒ වගේම මේ කණ්ඩායම තරගයේ තණතීරුව බලලා එයට හරි යන ලෙස තෝරාගත් බව ඔහු කිව්වා.”  

“එංගලන්ත ටෙස්ට් ක්‍රීඩාවත් එක්ක මගේ අනාගතය ගැන පැහැදිලි කිරීමක් මට අවශ්‍ය වුනා. මට ඉදිරියට යාමට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණා කියලා මම හිතනවා. ඒ නිසා මම කණ්ඩායමේ ස්ථානයක් ලැබීමට සුදුසු යැයි මට හිතෙනවා. ඒ ගැන මම කලකිරීමට පත්වෙලා ඉන්නේ.” 

කෙසේ වෙතත්, බ්‍රෝඩ් මෙම තරගය සඳහා සහභාගී වන පන්දු යවන්නන්ට චෝදනා එල්ල කළේ නැත. එංගලන්ත තත්ත්වයන් සමඟින් සංචිතයක් සමඟ තෝරා ගැනීම තරමක් උපක්‍රමශීලී විය හැකි බව බ්‍රෝඩ් පවසා සිටියේය. 

“මේ තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ඒකට සුදුසු නැහැ කියලා තර්ක කරන්න බෑ” ඔහු පෙන්වා දුන්නේය.

2011 ලෝක කුසලාන විමර්ශන වාර්තාව නීතිපතිට

“හැමෝම ක්‍රීඩා කිරීමට සුදුසුයි. ක්‍රිස් වෝක්ස්, සෑම් කරන් ඉතා හොඳින් පන්දු යවන ක්‍රීඩකයන්. ඔවුන් බොහෝ විට ක්‍රීඩා කරන එකොළොස් දෙනාට ඇතුළත් වීමට සුදුසුයි. ක්‍රීඩා කරන එකොළොස් දෙනාට මම ඇතුළත් නොවන එක ගොඩක් දුක හිතෙන දෙයක්. ක්‍රීඩකයන් ටෙස්ට් තරඟයක් සඳහා ශාරීරිකව යෝග්‍ය වෙලා සුදුසුකම් ලැබෙන්නේ කලාතුරකින්. එතැන දී කණ්ඩායම තේරීම උපක්‍රමශීලී දෙයක්.” 

“වේගපන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යන්න ලැබීම හා එහි ශක්තියට දායක වෙන්න ලැබීම සතුටක්. කණ්ඩායමේ වේග පන්දු බලඇණියටත් ගොඩක් ශක්තිමත්. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න වගේම එය හොඳ අතට හරවන්න තියන එකම ක්‍රමය වේගපන්දු බලඇණියයි. සංචිතවලට ඇතුළත් වෙන්න තියන ඉහළ තරගකාරිත්වයක් තියනවා. ඒ වගේම ඒවායේ ප්‍රමිතිය ඉහළ මට්ටමක තියනවා. සෑම කෙනෙකුම ඔවුන්ගේ ස්ථාන තහවුරු කරගන්න ලොකු තරගයක් තියනවා. ” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<