පාකිස්තානය 3 වැනි පරාජයටත් මුහුණ දෙයි

ICC Women's T20 World Cup 2026

5
ICC Women's T20 World Cup 2026

10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැති තරගවල දී පාකිස්තානයට එරෙහි ව ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් වෙනවා.

මෙම පරාජයත් සමඟින් පාකිස්තානයට මෙතෙක් සහභාගී වූ තරග ත්‍රිත්වයෙන් ම පරාජය වීමට සිදු වුණා.

  • 14 වැනි තරගය, 1 වැනි කාණ්ඩය, ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය, Southampton හී The Rose Bowl ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – නෙදර්ලන්තය

මෙම තරගයේ පළමු පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 219ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩිකාවෝ ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 121ක් පමණයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ ආරම්භක පිතිකාරිනී Beth Mooney. ඇය පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තා. එය ඇය ලෝක කුසලාන ඉතිහාසයට එක් කළ 7 වැනි අර්ධ ශතකයයි.

ඊට අමතර ව Ashleigh Gardner ද පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා. එය ඇයගේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග දිවියේ මංගල අර්ධ ශතකයයි.

ඇයට අමතර ව Georgia Wareham පන්දු 18ක දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Iris Zwilling ලකුණු 52කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Caroline de Lange කඩුලු ද්විත්වයක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Babette de Leede. ඇය පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තා. එය ඇය මෙවර තරගාවලියේ වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකයයි.

ඇයට අමතර ව Sterre Kalis පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Kim Garth ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 219 (20.0) Beth Mooney 74, Ashleigh Gardner 41, Iris Zwilling 3/52, Caroline de Lange 2/39
  • අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 121 (20.0) Babette de Leede නොදැවී 56, Sterre Kalis 44, Kim Garth 2/20

ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 98ක ජයක්.

තරගයේ වීරයා – Beth Mooney (ඕස්ට්‍රේලියාව)

කාසියේ වාසිය – බංග්ලාදේශය

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 123ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පාකිස්තාන ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 100ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 13ක් වෙද්දී දැවී ගිය අතර ඊට පසුව කඩුල්ලේ දී පන්දු 29ක දී ලකුණු 35ක් එක් කිරීමට නායිකා Nigar Sultana සහ Sobhana Mostary සමත් වෙනවා.

එහි දී Nigar Sultana පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා. Sobhana Mostary ලබා ගත් ලකුණු සංඛ්‍යාව 22ක්. ඇය ඊට පන්දු 19ක් වැය කළ අතර  හතරේ පහර 3ක් ඊට එක් කළා.

බංග්ලාදේශ ඉනිම අවසන් වන විට Shorna Akter පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී   Fatima Sana ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද එය පැවැතියේ කඩුලු ත්‍රිත්වයක් දක්වා පමණයි. එහි දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවක් එක් කිරිමට Muneeba Ali සහ Gull Feroza සමත් වෙනවා.

එහි දී Muneeba Ali පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණ 25ක් ලබා ගත් අතර Gull Feroza ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23ක්. ඇය ඊට පන්දු 18ක් වැය කළ අතර හතරේ පහර 4ක් ඊට එක් කර තිබුණා.

කඩුලු දවා ගැනීමේ දී Nahida Akter ලකුණු 18කට කඩුලු 3ක් ද සහ Sanjida Akter Meghla ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 123 (20.0) Nigar Sultana 36, Sobhana Mostary 22, Shorna Akter නොදැවී 39, Fatima Sana 2/18
  • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 100 (20.0) Muneeba Ali 25, Gull Feroza 23, Sanjida Akter Meghla 3/21, Nahida Akter 3/18

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 23ක ජයක්.

තරගයේ වීරයා – Shorna Akter (බංග්ලාදේශය)

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<