මහනුවර අභිමානය යළි හිස ඔසවයි

715
KANDY SC vs ARMY SC

ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ තෙවන සතිය ආරම්භ කරමින් මහනුවර ක්‍රීඩා සමාජයත් යුධ හමුදා ක්‍රීඩා සමාජයත් අතර අද (18) තුරඟ තරඟ පිටියේදී පැවති තරඟයෙන්, ලකුණු 34-10ක් ලෙස ජයග්‍රහණය කරන්නට මහනුවර කණ්ඩායම සමත් විය. පෙර සතියේදී මහනුවර ක්‍රීඩකයන්, ගුවන් හමුදා ක්‍රීඩකයන් වෙතින් අනපේක්ෂිතව පරාජය ලැබූ අතර, එනිසාවෙන්ම අද තරඟයේදී කුමක් සිදුවේදැයි රග්බිලෝලීන් පසුවූයේ අවධානයෙනි.

පසුගිය ලිපි: පොලිස් බලය වැස්සට දිය වෙද්දී, චරිත් ගුවන් හමුදාවට ජය ගෙනෙයි

තුරඟ තරඟ පිටියට ඇදහැලුණු දැඩි වර්ෂාව මධ්‍යයේ තරඟය ආරම්භ වූයේ කණ්ඩායම් දෙකේ ඉදිරි පෙල ක්‍රීඩකයන් පිටියේදී ගැටෙන ආකාරය අනුව ජය පරාජය තීරණය වෙනු ඇතැයි ඉඟි පලකරමිනි.

නමුත් සටන ඇරඹුණේ මහනුවර කණ්ඩායමේ පසුපෙල රේඛාවත් යුධ හමුදාවේ ඉදිරි පෙලත් අතරය.

තරඟයේ 10වන මිනිත්තුවේදී මහනුවර කණ්ඩායමේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක රොෂාන් වීරරත්න විසින් යුධ හමුදා කණ්ඩායමේ ආරක්ෂක පෙල විනිවිද යමින් පිටියේ ඉඩ වැඩිකරගත් අතර ඉන් සාර්ථක ඵල නෙළාගන්නට සමත් වූයේ මහනුවර කණ්ඩායමේ සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරන කාංචන රාමනායක යි. දිනයේ ප්‍රථම උත්සාහක දිනුම ඔහු අතින් වාර්තා වූ අතර අර්ශාඩ් ජමල්ඩීන් අතින් එහි ප්‍රවර්තනය අසාර්ථක විය (මහනුවර 05-00 යුධ හමුදාව).

14වන මිනිත්තුවේදී තමා වෙත ලැබුණු දඬුවම් පහරක් ගෝල කණු හරහා එල්ල කරන්නට යුධ හමුදාවේ ගයාන් සාලින්ද දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

දිනයේ සෑම ස්ක්‍රම් අවස්ථාවකදීම තම ආධිපත්‍ය පැතිරවූ මහනුවර ක්‍රීඩකයන්, 19වන මිනිත්තුවේදී උදා වූ ස්ක්‍රම් අවස්ථාවකදී බුවනෙක උදන්ගමුව වෙත පන්දුව ලබාදුන් අතර එය උත්සාහක දිනුම් රේඛාවෙන් එපිටට ගෙනයන්නට ඔහු සමත් විය. එහි ප්‍රවර්තනය ජමල්ඩීන්ගේ පාදයෙන් සාර්ථක විය (මහනුවර 12-00 යුධ හමුදා).

තරඟය යුධ හමුදා කණ්ඩායමෙන් තවදුරටත් ඈතට ගෙනයන්නට 22වන මිනිත්තුවේදී රිචඩ් ධර්මපාලට හැකිවිය. ධනුෂ්ක රන්ජන් විසින් සොරාගත් ප්‍රතිවාදී අයිතියේ තිබුණු පන්දුව ජමල්ඩීන් විසින්  ප්‍රතිවාදී ක්‍රීඩකයන් රහිත ස්ථානයකට එල්ල කළ අතර එය හඹාගිය තිලිණ වීරසිංහ විසින් සාර්ථකව පන්දුව රිචඩ් ධර්මපාල අතට පත්කළේය. ඉන් පසුව ධර්මපාලට කිරීමට ඉතිරිව තිබුණේ සුළු රාජකාරියකි. ජමල්ඩීන් නැවතත් සාර්ථක ප්‍රවර්තනයකින් ඊට සහය දැක්වීය (මහනුවර 19-00 යුධ හමුදාව).

අනතුරුව තරඟයේ 35වන මිනිත්තුව තුළද යුධ හමුදා අර්ධය වෙත ජමල්ඩීන්ගේ පාදයෙන් පන්දුව යොමුවූ අතර යළිත් එය හඹා ගිය රිචඩ් ධර්මපාල විසින් දිනයේ සිව්වන උත්සාහක දිනුමත් වාර්තා කරන ලදී. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත (මහනුවර 24-00 යුධ හමුදාව).

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය ඇතුළතදී තමා වෙත ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් යුධ හමුදාවේ ශානක කුමාර, යුධ හමුදා කණ්ඩායමේ නම අගින් ලකුණු 3ක් ලියා තැබුවේය (මහනුවර 24-03 යුධ හමුදාව)

ප්‍රථම අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය (4T, 2C) 24  – 03 (1P) යුධ හමුදා ක්‍රීඩා සමාජය.

දෙවන අර්ධයේ ආරම්භයත් සමඟින් ආබාධයකින් සුවය ලබා පැමිණ සිටින ෆසිල් මර්ජා, මහනුවර කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිස තිබිණි. ඉන් පසුව දිස්වූයේ යුධ හමුදා කණ්ඩායමට තිබූ තර්ජනය වැඩි වූ බවයි.

නොකඩවාම ආක්‍රමණයෙහි යෙදුනු මහනුවර ක්‍රීඩකයන්ට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් ජමල්ඩීන් තවත් ලකුණු 3ක් තම කණ්ඩායමට එක්කළේය (මහනුවර 27-03 යුධ හමුදාව).

පසුව අහස් කුස සිසාරා පැන නැඟුණු භයානක විදුලි අකුණු හේතුවෙන් සිදුවිය හැකිව තිබූ අනතුරක සේයා දුටු විනිසුරුවන් විසින් තරඟය මඳකට නතර කරන්නට තීරණය කලේය.

මඳ වේලාවකින් පසුව තරඟය නැවතත් ආරම්භ වූ අතර එහිදී දිස්වූයේ යුධ හමුදා ක්‍රීඩකයන් මනාව සංවිධානගත වී සිටි බවකි. ඉදිරිපෙල ක්‍රීඩකයන්ගේ සවියෙන් පෙරටම ගිය යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා වූයේ ඉන් පසුවය. එය යුධ හමුදාව වෙනුවෙන් වාර්තා කළේ චමීර සිල්වා විසිනි. ශානක කුමාර විසින් ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදී (මහනුවර 27-10 යුධ හමුදාව).

පසුව සුළු සුළු අතපසුවීම් කිහිපයක් හේතුවෙන් මහනුවර කණ්ඩායමට ලකුණු ලබාගත හැකිව තිබූ අවස්ථාවන් කිහිපයක් ගිලිහුණු නමුත් තරඟයේ 72වන මිනිත්තුවේදී යළිත් ලකුණු පුවරුව අළුත් කරන්නට අර්ශාඩ් ජමල්ඩීන්ගේ උත්සාහක දිනුමකට හැකිවිය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේ තිලිණ විජේසිංහ විසිනුයි (මහනුවර 34-10 යුධ හමුදාව).

ඉන් මඳ වේලාවකට පසුව අවසන් සංඥාව ලබා දුන් විනිසුරු ප්‍රියන්ත ගුණරත්න, තරඟයේ නිමාව සනිටුහන් කළේය.

අවසන් ලකුණු: මහනුවර ක්‍රීඩා සමාජය (5T,3C,1P) 34 – 10 (1T,1C,1P) යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: බුවනෙක උදන්ගමුව (මහනුවර)

ලකුණු වාර්තා කළ ක්‍රීඩකයින්

කාංචන රාමනායක 1T, බුවනෙක උඩන්ගමුව 1T, රිචඩ් ධර්මපාල 2T, අර්ශාඩ් ජමල්ඩීන් 1T 2C, තිලිණ විජේසිංහ 1C (මහනුවර කණ්ඩායම)

චමීර සිල්වා 1T, ගයාන් සාලින්ද 1C, ශානක කුමාර 1P (යුධ හමුදා කණ්ඩායම)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට

Replay : Army SC v Kandy SC - Dialog Rugby League 2016/17 - #Match 10