“අපි තණතීරුවෙන් මීට වඩා සහයෝගයක් බලාපොරොත්තු වුනා”

160
We thought wicket would do bit more

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (21) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ තීරණය කළා. තරගයේ දෙවැනි පන්දුවාරයේ දී ම බංග්ලාදේශ පළමු කඩුල්ල දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත්වුවත් තරගයේ පළමු දිනය නිමා වූයේ බංග්ලාදේශයට වැඩි ගෞරව හිමිකර දෙමින්.

මෙම ටෙස්ට් තරගය සඳහා කොළ පැහැති තණතීරුවක් යොදාගෙන තිබීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා. තණතීරුව වේගපන්දු යවන්නන්ට වඩාත් උචිත වේ යැයි බලාපොරොත්තු වුවද තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව හිමිවූයේ පිතිකරුවන්ටයි.

තරගයේ පළමු දිනය අවසානයේ දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු Grant Flower තරගය පිළිබඳව සිය අදහස් දක්වා සිටියා.

අපි හිතුවේ තණතීරුව උදව් වේවි කියලා පන්දු යවන්නන්ට. අපි මීට වඩා කඩුලු ලබා ගන්න බලාපොරොත්තු වුනා. තණතීරුවේ උදෑසන ටිකක් තෙත ගතියක් තිබුණා. අවංකවම කියනවා නම් අපි අපේ හොඳම දක්ෂතා අතරට ආවේ නැහැ. විශේෂයෙන් බංග්ලාදේශ කණ්ඩායමට ගෞරවය දෙන්න ඕනේ. ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. Tamim Iqbal වේගවත් ආරම්භයක් ලබාගත්තා. ඒ වගේම Shanto. ඔහුත් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ඒකේ ගෞරවය අපි ඔවුන්ට දෙන්න ඕනේ. අපි ඇත්තෙන්ම බලාපොරොත්තු වුනා මේ තණතීරුව වේග පන්දු යවන්නන්ට සුදුසු එකක් වේවි කියලා. අපි බලමු ඉදිරි දින කීපය තුල තණතීරුව හැසිරෙන්නේ කොහොමද කියලා.

තවත් ක්‍රිකට් පුවත්:

මෙම තරගය සඳහා කොළ පැහැති තණතීරුවක් යොදාගැනීමට හේතු වූ කරුණු ද ඔහු එහි දී පවසා සිටියා.

අපි බටහිර ඉන්දීය කොදෙව්වල ක්‍රීඩා කරලා ආවේ. ඒ තණතීරු පැතලි තණතීරු. අපි දැක්කා වේගපන්දු යවන්නන් ඒ තරගාවලියේ දී ඉතාමත් හොඳින් පන්දු යැවුවා. අපිට ඕනේ වුනේ මේ තරගයේ දීත් ඔවුන්ගේ උපරිමය ගන්න. තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් හොඳ එකක් බව අපි දැක්කා. 

අපි දඟපන්දු යවන්නන් එක් කෙනෙක් සහ ධනංජය ද සිල්වා තමයි යොදා ගත්තේ. අද දවස ඔවුන්ට සාර්ථක එකක් වුනේ නැහැ. හෙට දවසේ අපි ටිකක් මහන්සි වෙන්න ඕනේ. 

අපිට එක් එක් පිතිකරුවන්ට සැලසුම් තිබුණා. ඊට අනුව තමයි අපි පන්දු රකින්නන් යොදාගත්තේ. මම හිතන්නේ අපේ පන්දු යවන්නන් නිවැරදි තැන්වලට පන්දු යවන්න සමත්වුනේ නැහැ. තණතීරුවේ එතරම් දඟකැවීමක් තිබුණේ නැහැ. ඒ නිසා දඟපන්දු යවන්නන්ට කඩුලු ලබා ගන්න පුළුවන් වුනේ නැහැ. මේක පිතිකරුවන්ට ඉතාමත් හොඳ තණතීරුවක්. අපි පන්දුවට පහර දෙන වෙලාවෙදිත් තණතීරුව මේ වගේම වේවි කියලා බලාපොරොත්තු වෙනවා. දින කීපයක් යද්දී තණතීරුව ටිකක් දැඩි වෙන නිසා වේගවත් වේවි. 

අපිට හොඳ පා දඟපන්දු යවන්නෙක් සහ වනිඳු හසරංග ඉන්නවා. ඔහුගේ ප්‍රධාන ආකෘතිය සීමිත පන්දුවාර තරග වුනත් මම හිතනවා ඔහු අද හොඳින් ක්‍රීඩා කළා කියලා. තණතීරුව දඟපන්දු යවන්නන්ට එතරම් උචිත එකක් වුනේ නැතත්, ඔහු හොඳින් පන්දු යැවුවා. අපි දැනගෙන හිටියා බංග්ලාදේශ කණ්ඩායම දඟ පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දේවි කියලා. ඔවුන්ට ඒ වගේ තණතීරු හොඳින් පුරුදු නිසා. ඒ නිසා තමයි අපි වේගපන්දු යවන්නන්ට සුදුසු තණතීරුවක් යොදා ගත්තේ. පල්ලෙකැලේ තණතීරුව දින කීපයක් යද්දී දඟ කැවෙන්න පටන්ගනීවි. බංග්ලාදේශ කණ්ඩායමේ හොඳ දඟ පන්දු යවන්නන් ඉන්න නිසා අපිට අභියෝගයක් තියනවා. 

තරගයේ පළමු දිනය අවසන් වන විට බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 302ක් වාර්තා කර සිටියේ කඩුලු දෙකක් පමණක් අහිමිකර ගනිමින්. බංග්ලාදේශ පළමු ඉනිම පිළිබඳව ද Grant Flower මෙහි දී අදහස් දක්වා සිටියා.

බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 500කට සීමා කරන්න පුළුවන් වුනොත් ඒක හොඳ දෙයක් විදිහට මම දකිනවා. හෙට උදේම අපිට ඉක්මන් කඩුලු දෙකක් දවා ගන්න පුළුවන් වුනොත් පීඩනය සම්පූර්ණයෙන්ම ඔවුන්ට එල්ල කරන්න පුළුවන්. අපි උත්සාහ කරන්න ඕනේ අන්ත දෙකෙන්ම පීඩනයක් එල්ල කරන්න. අද අපි ඒක කළා කියලා මම හිතන්නේ නැහැ. එක් අවස්ථාවක අපි එක් අන්තයකින් පීඩනයක් එල්ල කළත් අනෙක් අන්තයෙන් පීඩනය එල්ල කරන්න අපොහොසත් වුනා. 

අවසන් පන්දුවාර කීපයේ දී ලකුණු ලබා ගැනීමේ වේගය 2.76ක් වගේ තිබුණේ. ඒ පන්දුවාරවල දී පන්දු යවන්නන් තරගයට අවතීර්ණ වුනා. අපිට ඒක දිගටම පවත්වා ගන්න පුළුවන් වුනොත් හොඳ තරගයක් දෙන්න පුළුවන්.

හෙට (22) තරගයේ දෙවැනි දිනයයි. ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<