හසරංග, නිස්සංක, ඕෂද හා ඇඹුල්දෙනිය තමා ලංකාවේ අනාගතය – Mickey Arthur

356

වනිඳු හසරංග, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු හා ලසිත් ඇඹුල්දෙනිය අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැදගත්ම ක්‍රීඩකයින් අතර සිටිනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු Mickey Arthur පවසා සිටිනවා. ඔහු පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ දේශීය තරග පිටියේ හොඳම ක්‍රීඩකයින් ද තමන් හඳුනා ගෙන ඇති බවයි.

ESPNcricinfo වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් Arthur පවසා සිටියේ කුසල් මෙන්ඩිස් කොදෙව් සංචාරයෙන් ඉවත් කළත්, ඔහුව බංගලාදේශ තරගාවලියට නම් කර නොතිබුනත් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ අනාගතයට වටිනාම ක්‍රීඩකයෙක් බව පුහුණු කාර්ය මණ්ඩලය විශ්වාස කරන බවයි.

“ඕෂද ප්‍රනාන්දු ඉතා හොඳ ක්‍රීඩකයෙක් වන බවට සලකුණු පෙන්වා තිබෙනවා, විශේෂයෙන්ම අංක 3 ස්ථානයේ” Arthur පවසා සිටියා. “මම හිතන්නේ කුසල් මෙන්ඩිස් තවමත් අපිට ඉන්න හොඳම ක්‍රීඩකයෙක්. ඔහුගේ ඒ දක්ෂතා එළියට ගන්න එක තමයි මගේ අදහස.” 

“මම ඉතා කැමතියි පැතුම් නිස්සංක මේ අවස්ථාවේ ක්‍රීඩා කරන විදිය බලන්න. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට රැගෙන යාවි, විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන්. ඔහු එක්දින ක්‍රිකට් කණ්ඩායමෙත් විශේෂ තැනක් ගනියි. ඔහු විස්සයි විස්ස තරග රටාවට හැඩ ගැහෙන අයුරු කාලය කියයි.”

22 හැවිරිදි නිස්සංක බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ඉතා ඉහළ දස්කම් දැක්වූයේ ටෙස්ට් තරග දෙකේ ඉනිම තුනක දී ලකුණු 9ක්, 103ක් හා 51 ක් බැගින් රැස් කරමිනුයි.

“හසරංග අඛණ්ඩව දස්කම් අතර ඉන්නවා ගොඩක් හොඳ ක්‍රීඩකයින් බොහොමයක් වගේම. තරගය අමාරු වෙනකොට තමයි ඔහුට පන්දු යවන්න ඕනේ. තරගය අමාරු වෙනකොට තමයි ඔහුට පන්දුවට පහර දෙන්න ඕනේ. ඔහුට ජයග්‍රාහි ලකුණ වාර්තා කරන්න ඕනේ. ඔහුට ලොකු උනන්දුවක්, ආශාවක් තියෙනවා” Mickey Arthur පවසා සිටියා. 

තවත් ක්‍රිකට් පුවත්:

“මම ලංකාවට ඇවිල්ලා ගොඩක් කල් යනකම් නිස්සංකව දැකලා තිබුණේ නැහැ. මම ඔහු ගැන අහලා තිබුණා. පළමු රට වසාදැමීම අවසන් වුනාට පසුව පැවැත්වුණු දේශීය තරගාවලියේ දී ඔහු ආබාධයකට ලක් වෙලා හිටියේ. ඉතින් අපි ඔහුව පුහුණු සංචිතයකට දාලා කොදෙව් සංචාරයට සූදානම් කළා. මම ඔහු පුහුණු වෙනවා මිනිත්තු 10ක් බලන් හිටියා, ඔහු ඉතා හොඳයි කියලා මට තේරුණා.”

“තාක්ෂණිකව ඔහු අතිවිශිෂ්ටයි (නිස්සංක). ශාරීරිකවත් ඔහු ඉතා හොඳයි වගේම ඔහුගේ පන්දු රැකීමත් අපිට අවශ්‍ය මට්ටමේ තිබෙනවා. ඔහු කණ්ඩායමත් සමඟ හොඳට ගැළපුණා. ඔව් අපිට ඔහුව ටිකක් ඔප දමන්න සිදු වුනා, කොහොම වුනත් නිස්සංක කුඩා කළ ඉඳන් පුහුණුකරුවන් එක්ක හොඳින් වැඩ කරලා තිබෙන බවක් පෙනෙනවා. ඔවුන් නිස්සංකව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට හොඳින් සූදානම් කරලා තියෙනවා.”

ආබාධයක් නිසා ඇඹුල්දෙනිය බංග්ලාදේශ සංචාරයට එක්වුණේ නැහැ. නමුත් Arthur පවසා සිටියේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට තර්ජනයක් වන පන්දු යවන්නෙක් බවට ඇඹුල්දෙනිය පරිවර්තනය විය යුතු බව තමන් විශ්වාස කරන බවයි.

“ලසිත් ඇඹුල්දෙනිය විශිෂ්ට පන්දු යවන්නෙක් බවට පත් වෙනවා. ඔහු තවම තරුණයි. ඔහු තවමත් තමන් ගැන එතරම් විශ්වාස කරන්නේ නැහැ. මම හිතන්නේ ඔහු තවම දන්නේ නැහැ ඔහු කොතරම් හොඳ ද කියලා.” 

espncricinfo ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<