“Dhoniගෙන් ලකුණු බලාපොරොත්තු වෙන එක අසාධාරණයක්” – Brian Lara

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

319

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල Chennai Super Kings නායක MS Dhoniගේ පිතිකරණය අසාර්ථක වීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Brian Lara පවසා සිටියේ MS Dhoni විවේකගත යුතු කාලය පැමිණ ඇති බවයි.

MS Dhoni Chennai Super Kings කණ්ඩායමේ නායකයා මෙන්ම කඩුලු රකින්නා ද වන නිසා ඔහුගෙන් පිතිකරණය ද බලාපොරොත්තු විය නොහැකි බව Brain Laraගේ අදහස වී තිබෙනවා.

පසුගිය වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී එතරම් සාර්ථක වීමට MS Dhoni සහ Chennai Super Kings සමත්වුනේ නැහැ. එම තරගාවලිය තුල මුලින්ම ඉවත් වූ කණ්ඩායම වූයේ ද Chennai කණ්ඩායමයි. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ ආරම්භයේ දී ම සාර්ථක වීමට Chennai Super Kings සමත් වුනා. නමුත් එම තරගවල දී MS Dhoni තවදුරටත් අසාර්ථක වීම කැපී පෙනුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටින MS Dhoni මෙවර තරගාවලිය සඳහා සහභාගී වන්නේ දීර්ඝ විරාමයකින් අනතුරුවයි. මීට වසර කීපයකට පෙර ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත ක්‍රීඩකයෙකු වූ MS Dhoniගෙන් තවමත් විශාල කාර්‍යභාරයක් බලාපොරොත්තු වීම අසාධාරණ බව Brian Lara පවසා සිටියා. මෙවර තරගාවලිය තුල MS Dhoniගේ පිතිකරණය මෙන්ම පිතිකරණ ස්ථානය ද දැඩි ප්‍රශ්නාර්ථයක් මතුකර තිබුණා. 

පසුගිය වසරේ දී MS Dhoni සාර්ථක නොවූවද කණ්ඩායමක් ලෙස Chennai Super Kings අසාර්ථක වීම නිසා එය එතරම් කැපී පෙනුණේ නැහැ. නමුත් මෙම වසරේ දී Chennai කණ්ඩායම දක්ෂතා අතරට පැමිණ සිටීම නිසා Dhoniගේ කාර්‍යභාරය පිළිබඳව කතාබහක් ගොඩනැගී තිබෙනවා. තරගාවලියේ මේ දක්වා ක්‍රීඩා කළ තරග 3න් 2ක් ජයග්‍රහණය කිරීමට Chennai කණ්ඩායම සමත් වුනා. 

කෙසේ වෙතත් MS Dhoniගේ නායකත්වය සහ කඩුලු රැකීම සුපුරුදු පරිදි ඉහල මට්ටමක තිබෙනවා. තරගයේ මුල් පන්දුවාර තුල දී ඔහුගේ දඟපන්දු යවන්නන් වන Moeen Ali සහ Ravindra Jadeja කැඳවමින් කඩුල්ලේ තත්ත්වය නිවැරදිව වටහා ගනිමින් ඉක්මන් කඩුලු ලබා ගැනීම MS Dhoni නම් නායකයාගේ දක්ෂතාව ගැන සාක්ෂි සපයනවා. 

පසුගිය දා පැවති Chennai Super Kings සහ Rajasthan Royals අතර තරගයේ දී MS Dhoni සිව්වැනි කඩුල්ල සඳහා පිටියට පැමිණියා. ඒ වන විට වේගවත් ඉනිමක් දියත් කරමින් සිටි Chennai කණ්ඩායම තරමක් මන්දගාමී කිරීමට Dhoniගේ ඉනිම ඉවහල් වූ බව බොහෝදෙනා පවසා සිටියා. 

ඒ පිළිබඳව Brian Lara අදහස් දක්වා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ වසර කීපයකට පෙර සිටි Dhoniගෙන් බලාපොරොත්තු වන පිතිකරණය වත්මන් Dhoniගෙන් බලාපොරොත්තු විය නොහැකි බවයි. ඔහු මේ බව පවසා සිටියේ Star Sports සමඟින් සාකච්ඡාවකට එක්වෙමින්.

“මම හිතන්නේ Chennai Super Kings කණ්ඩායමට Dhoniගෙන් ලකුණු බලාපොරොත්තු වෙන්න බැහැ. ඔහු කඩුලු රකින්නා විදිහට ඔහුගේ වගකීම ඉටු කරනවා. ඔහු උඩපන්දු ලබා ගන්නවා, ස්ටම්ප් කිරීම් කරනවා. ඒ නිසා පිතිකරුවෙක් විදිහට Dhoniගෙන් ලකුණු බලාපොරොත්තු වෙන්න බැහැ. Chennai කණ්ඩායම ගත්තම ඔවුන්ට දීර්ඝ පිතිකරණ ලැයිස්තුවක් ඉන්නවා. මම හිතන්නේ ඒ නිසා Dhoniට විවේක ගන්න පුළුවන්.” 

තවත් ක්‍රිකට් පුවත්:

“ඔහු රිද්මයට එනතුරු අපි හැමෝම බලාගෙන ඉන්නවා. අපි දන්නවා ඔහු කෙතරම් දරුණු පිතිකරුවෙක් ද කියලා. ඒත් ඔහුගේ කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. Sam Curran වගේ ක්‍රීඩකයන්. ඔහු පළමු පන්දුවේ ඉඳන්ම ලකුණු ලබාගන්න ක්‍රීඩකයෙක්. ඒ වගේ දෙයක් Dhoniගෙන් බලාපොරොත්තු වෙන එක අසාධාරණයක්.” 

තවදුරටත් අදහස් දක්වමින් Lara පවසා සිටියේ MS Dhoni සිය නායකත්වය පිළිබඳව උපරිම අවධානය යොමු කරන්නේ නම් මෙවර තරගාවලිය ජයග්‍රහණය කිරීමට Chennai කණ්ඩායමට හොඳ අවස්ථාවක් ඇති බවයි.

“මම හිතන්නේ ඔවුන්ට ඉතාමත් හොඳ කණ්ඩායමක් ඉන්නවා. නායකයෙක් විදිහට MS Dhoni කියන්නේ විශිෂ්ට නායකයෙක්. ඔහු ඒකට අවධානය යොමු කරලා එක් එක් ක්‍රීඩකයාගේ උපරිමය ලබාගන්න සමත්වුනොත් Chennai කණ්ඩායමට ශූරතාවය දිනා ගන්න පුළුවන්” Brian Lara පවසා සිටියා.

Chennai Super Kings මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවනවා. ඔවුන් සහභාගී වන මීළඟ තරගය අද (21) Kolkata Kinght Riders සමඟින් පැවැත්වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<