සංචාරක සීමා නිසාවෙන් WTC අවසන් තරගයට රතු එළියක්?

156

COVID-19 ව්‍යාප්තියෙහි උච්චතම අවධියෙහි පසුවන ඉන්දියාවේ සංචාරය කර පැමිණෙන්නන් හට රට තුලට ඇතුළු වීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහුරාලීමට බ්‍රිතාන්‍ය රජය මේ වන තීරණය කොට තිබෙන්නේ සංචාරය කිරීමෙන් වැළකී සිටිය යුතු, දැඩි අවදානමක් සහිත කලාපයක් ලෙස ඉන්දියාව නම් කිරීමත් සමඟිනි. 

කෙසේ නමුත් ඉදිරියේ දී පැවැත්වීමට සැලසුම් කොට තිබෙන ICC ටෙස්ට් ශූරතාවලියෙහි අවසන් මහා තරගය සඳහා මෙමඟින් කිසිදු බලපෑමක් එල්ල නොවන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කොට තිබුණි. 

එංගලන්තයේ සවුත්ඇම්ප්ටන් හීදි ක්‍රියාත්මක වීමට නියමිත මෙම ඓතිහාසික ක්‍රිකට් ගැටුම සඳහා මේ වන විටත් සුදුසුකම් ලබා තිබෙන්නේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී පළමු සහ දෙවැනි ස්ථානයෙහි රැඳී සිටින ඉන්දියාව සහ නවසීලන්තයයි.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය Matt Hancock මහතා විසින් ඉන්දියාවේ සිට පැමිණෙන පිරිස් හට සංචරණ සහ සංචාරක සීමා පැනවීමට තීරණය කිරීමත් සමඟම ICCය විසින් මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කිරීමට පියවර තිබුණේ ජුනි 18 සිට 22 දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් පසුවන මංගල ටෙස්ට් ශූරතාවලියෙහි අවසන් මහා තරගය කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය පසුබිම සැකසීමේ අරමුණෙනි.

තවත් ක්‍රිකට් පුවත්:

“අපි දැනටමත් ඉදිරියේ දී ඇති වෙන්න පුළුවන් ගැටලු සම්බන්ධයෙන්  බ්‍රිතාන්‍ය රජයත් එක්ක සාකච්ඡා ආරම්භ කරලයි තියෙන්නේ. ECBය අපිට ක්‍රියාවෙන්ම පෙන්නලා දීලා තියෙනවා කොහොමද මේ වසංගත තත්වය පවතිද්දී වුනත් අන්තර්ජාතික තරගාවලියක් සාර්ථකව සංවිධානය කරන්නේ කියන එක ගැන. අපිට හොඳටම විශ්වාසයි කිසිදු බාධාවකින් තොරව දැනට තියෙන අත්දැකීම් එක්ක කිසිම බාධාවකින් තොරව අවසන් තරගය පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම කරන්න පුළුවන් කියලා” යනුවෙන් සටහනක් තබමින් ICCය සඳහන් කොට තිබුණි.

අවසන් මහා තරගය දියත් කිරීම සඳහා තවත් මාස දෙකකට ආසන්න කාලයක් ඉතිරිව තිබුණ ද, දැනට ක්‍රියාත්මක වන IPL තරගාවලිය අවසන් වූ වහාම එනම් මැයි මස 30 වැනිදාට පසුදිනම ඉන්දීය කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යාමට සූදානමින් පසුවන බව ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

තවද එංගලන්ත සංචාරය සඳහා පිටව යෑමට පෙරාතුව දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත් වීමට ඉන්දීය කණ්ඩායමට සිදු වනු ඇති බව ඇතැම් පාර්ශවයන් සඳහන් කර සිටිය ද, IPL තරගාවලිය ක්‍රියාත්මක වන කාලසීමාව තුල දී සියලුම නිරෝධායන නීතීන්ට අනුකූලව ජෛව-ආරක්ෂණ බුබුළු තුල ක්‍රීඩකයින් කාලය ගත කරන නිසාවෙන් එහි අවශ්‍යතාව සම්බන්ධයෙන් ඉදිරියේ දී අවසන් තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව BCCIය පවසා තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<