“අංක 6 ස්ථානය සඳහා අපිට ගොඩක් විකල්ප නැහැ.”- හතුරුසිංහ

23033

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 7 වැනි තරගය එළඹෙන සිකුරාදා (28) ඩර්හැම්හි ‘Emirates Riverside’ ක්‍රීඩාංගණයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අතර එම තරගය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එහි දී හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුවහොත් ඔවුන්ට තරගය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩකඩක් ඇති බවයි. 

තරගාවලිය තුළ මේ දක්වා සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත්ව ඇති දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරගය පමණි.

ස්ටොක්ස්ගේ උඩපන්දුව අතඇරුනම මම බය වුනා – මෙන්ඩිස්

ගෙවී ගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ……….

හතුරුසිංහ පවසා සිටි අන්දමට මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ ඔවුන් අත්විඳි සීතල අධිකම දිනය ඊයේ (25) දිනය වූ අතර එහි දී කණ්ඩායමේ පුහුණු සැසියක් ද පැවැත්විය. කෙසේ නමුත් පසුගිය සිකුරාදා (21) පැවති, එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහි තරගයේ දී ශ්‍රී ලංකාව කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි වාර්තා කර ගත් ලකුණු 20ක තියුණු ජයග්‍රහණය සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතා හොඳ මානසික මට්ටමකින් සහ විශ්වාසයකින් යුතුව මෙම තරගයට පිවිසෙනු ඇති බව නොඅනුමාන ය.

“ඒක තමයි ක්‍රිකට් කියන්නේ. ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ අරුමය. ඕනෑම තරගයක වැදගත්ම දේ තමයි ආරම්භය. ප්‍රතිවාදී කණ්ඩායමට පීඩනයක් එල්ල කළාම අපි හොඳින්ම සූදානම් කණ්ඩායම වුවත්, අඩුවෙන්ම සූදානම් කණ්ඩායම වුවත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. එංගලන්තය තමයි හොඳින්ම සූදානම් කණ්ඩායම. මීට අවුරුදු 4කට කලින් ඔවුන් බංග්ලාදේශ කණ්ඩායමට පරාජය වුන දවසේ ඉඳන් ඔවුන් මේ ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වුනා.”  ‘2019 Headingly surprise’ පිළිබඳව අදහස් දක්වමින් හතුරුසිංහ පැවසීය.

“අපිට අවසාන මොහොත දක්වාම අපේ අවසන් කණ්ඩායම පිළිබඳ තීරණයක් තිබුණේ නැහැ. නමුත් ක්‍රීඩකයෝ හැමෝම ඔවුන්ගේ උපරිම දක්ෂතාවයට ක්‍රීඩා කළා. අවිශ්ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. කවුරුත් ඔහුව කලින් දැනගෙන හිටියේ නැහැ. ලසිත් මාලිංග පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූවා. අපේ පන්දු යැවීම ඉතා හොඳ මට්ටමක තිබුණා. අපි කණ්ඩායමක් විදිහට හොඳින් ක්‍රීඩා කළා. මට හිතුණා අපිට ලකුණු 30ක් විතර මදි වුනා කියලා. නමුත් අපි හොඳ තරගයක් ලබා දීලා ඔවුන්ව පීඩනයට ලක්කළා.” 

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

දකුණු අප්‍රිකානු කණ්ඩායම පසුගිය දා පාකිස්තාන කණ්ඩායමට එරෙහිව අත්විඳි පරාජයත් සමඟ ඔවුන්ට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට තිබූ සියලුම අවස්ථා ගිලිහී ගියේය. ඔවුන් ක්‍රීඩා කළ තරග 7න් ඔවුන් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කරද්දී තරග 5ක් ඔවුන් පරාජයට පත්වූ අතර අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය. තරගාවලියේ මුල් භාගයේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් මුහුණ දුන් ආබාධ හේතුවෙන් ඔවුන්ගේ ලෝක කුසලාන තරගාවලිය කඩා වැටෙන්නට විය.

කෙසේ නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම සතුව තරග ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩකයින් කිහිප දෙනෙක් තවමත් සිටින නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එම තරගය ජයග්‍රහණය කිරීමට නම් ඔවුන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කිරීමට සිදුවන බව නොඅනුමානය. 

එහේ ගිහින් හොඳ දස්කම් දක්වන්න බලාපොරොත්තු වෙනවා – අසලංක

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු……

“මෙම තරගාවලිය පුරාවට අපි සැලකිලිමත් වූ දේවල් ගැනම මෙම තරගයේ දීත් අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. මුලින් පන්දු යැවුවත්, පිතිකරණයේ යෙදුනත්, සාර්ථක ආරම්භයක් ලබාගත යුතුයි. අපිට ඉක්මනින් තරගයට අවතීර්ණ වෙලා තරගය පුරාවට තරගයේ රැඳී සිටින්න සිදු වෙනවා. ඒක තමයි අපි හැම තරගයකම කරන්න උත්සාහ කරන්නේ.” ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන වත්මන් ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ පැවසීය.

“අපි මෑතක දී දකුණු අප්‍රිකාව සමඟ තරගාවලියක් ක්‍රීඩා කළා. ඒ නිසා අපි දන්නවා ඔවුන්ගේ ප්‍රබලතාවයන් වගේම දුර්වලතාවයන්. ඔවුනුත් එහෙමයි. අපි සිදු කළ යුතු වන්නේ ඔවුන්ගේ ප්‍රබල ඔවුන්ගේ ක්‍රීඩකයින්ට හැකි තරමින් තරගයට අවතීර්ණ වෙන්න අවස්ථාවක් නොදී ඉන්න එක. අනෙක් පසින් අපේ ප්‍රබල ක්‍රීඩකයින්ට කලින් තරගයේ දී වගේ සිය උපරිමයෙන් ක්‍රීඩා කරන්න වෙනවා.” 

එංගලන්ත කණ්ඩායම සමඟ පැවති පසුගිය තරගයේ දී ලකුණු 233ක් ආරක්ෂා කිරීමේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විශිෂ්ට ක්‍රීඩා විලාශයක් විදහා දක්වමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරදෙන්නට සමත් විය. කෙසේ නමුත් ලෝක කුසලාන තරගාවලිය තුළ මේ දක්වා ක්‍රීඩා කළ එකඳු තරගයක හෝ ලකුණු 300ට වැඩි සංඛ්‍යාවක් ලබාගැනීමට අපොහොසත් වීම ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිල්ලට ගත යුතු කරුණක් වනු ඇති බව නොඅනුමාන ය. `වසර ගණනාවක් පුරාවට කණ්ඩායමේ නොසිට ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කරනු ලැබූ ජීවන් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න සහ මිලින්ද සිරිවර්ධන වැනි ක්‍රීඩකයින් ඔවුන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගන්නට අසමත් වී ඇත.

“අපිට අංක 6 ස්ථානය සඳහා ගොඩක් විකල්ප නැහැ. මේ තමයි අපිට කරන්න පුළුවන් උපරිමය. අපිට හොඳ දෙයක් තමයි පිතිකරණ ලැයිස්තුවේ පහළින් ක්‍රීඩා කරන ධනංජය ද සිල්වා තරමක් ලකුණු අතරට පැමිණීමට සමත් වීම. ඔහු සහ ඇන්ජෙලෝ මැතිව්ස් අතර සබඳතාවය අපිට ගොඩක් වැදගත්. ඒ දේ තමයි අපි ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ. අපිට ගොඩක් විකල්ප නැහැ. ඒක තමයි අපේ සංචිතයේ තියෙන හොඳම සංයෝගය.” මේ දක්වා ඉහළ දක්‍ෂතාවලට පැමිණීමට අපොහොසත් වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිළිබඳව අදහස් දක්වමින් හතුරුසිංහ පැවසීය. 

ප්‍රේක්ෂකයින්ට හැසිරෙන හැටි කියන එක මගේ වැඩක් නෙමෙයි – මෝගන්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වන විට ……….

කෙසේ නමුත් එංගලන්තය සමඟ පැවති තරගයේ දී ලකුණු 3කට කඩුලු 2ක් දැවී තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ දක්‍ෂතා අතරට පැමිණීමට සමත් වූ අතර එහි දී හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් ‘headingly’හි මන්දගාමී තණතීරුවක ලකුණු නොදැවී 85ක් වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනඟන්නට සමත් විය. මෙම තරගයට පෙර පැවති තරගවල දී ඔහු වාර්තා කර ගත් ලකුණු දැක්වුණේ 0, 0 සහ 9ක් ලෙසයි. පසුගිය මාස 6ක පමණ කාලය තුළ ගැටලු පැවතියත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුලම පිතිකරුවා වන මැතිව්ස් පන්දු 115කින් වාර්තා කළ එම ඉනිම පිළිබඳව හතුරුසිංහ ඉහළින් අදහස් දැක්විය. 

“මැතිව්ස් හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. අපහසු ඉනිමක් ඒක. තරගාවලියේ ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වීම නිසා ඔහු ලොකු පීඩනයකින් සිටියේ. හොඳ අවධානයකින් යුතුව අවසානය දක්වාම ක්‍රීඩා කරලා ලසිත් මාලිංග පන්දු යැවීමට ගත් සෑම අවස්ථාවක දීම කඩුලු ලබාගැනීමට සමත් වීම තරගයේ ජයග්‍රහණයට වැදගත් වුනා.” හතුරුසිංහ පැවසීය.

“කණ්ඩායමේ පළමු පිතිකරුවන් 6 දෙනා තරගාවලියේ කුමන අවස්ථාවක හෝ ලකුණු අතර සිටියා. දැන් අපිට අවශ්‍ය කණ්ඩායමක් විදිහට දක්‍ෂතා දක්වන එක. ඔවුන් 6 දෙනාම ලකුණු අතරට එන්නේ නැහැ. නමුත් අවම වශයෙන් ක්‍රීඩකයින් 6 දෙනෙක් දක්‍ෂතා අතරට ඇවිත් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන එක අවශ්‍යයි.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<