හොඳට ලකුණු ගහපු පල්ලෙකැලේ ලකුණු කැපෙයි

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

345

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවති පල්ලෙකැලේ ක්‍රිකට් තණතීරුව සඳහා එක් අවගුණ ලකුණක් (demerit point) ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (28) තීරණය කර තිබෙනවා. ඒ ICC තණතීරු සහ තණතිලි අධීක්ෂණ ක්‍රියාවලියේ තිබෙන නීති රීති අනුවයි.

පළමු ටෙස්ට් තරගය නිමා වූ පසු එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා විසින් ICC වෙත තරගයේ සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන අතර එහි දී පළමු තරගය සඳහා භාවිතා කළ තණතීරුව සාමාන්‍ය මට්ටමේ තණතීරුවලට වඩා අවම මට්ටමක (below average) තිබූ බව මඩුගල්ල මහතා විසින් ICCය වෙත දන්වා තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

“පල්ලෙකැලේ තණතීරුවේ ස්වභාවය දින පහක් තුළ කිසිදු විදිහකට වෙනස් වුනේ නැහැ. තරගය ඉදිරියට යනකොට පිත්ත සහ පන්දුව අතර තිබූ සමබරතාවයේ කිසිම වෙනසක් වුනේ නැහැ. තණතීරුව දින 5 පුරාවටම පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය මට්ටමක තිබුණා. තරගය පැවති දින 5 පුරාවටම දැවී ගියේ කඩුලු 17යි. 

ලබා ගත්ත ලකුණුත් එක්ක සලකල බැලුවහම එක් කඩුල්ලකට දල ලකුණු  සාමාන්‍යය 75.82ක් වැනි ඉහළ මට්ටමක සටහන් වුනා. ICC තණතීරු සහ තණතිලි අධීක්ෂණ ක්‍රියාවලියේ තිබෙන මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම තණතීරුව කඩුල්ලකට දල ලකුණු  සාමාන්‍යය ඉතාමත් ඉහළ මට්ටමක තිබූ නිසා සාමාන්‍ය මට්ටමේ තණතීරුවලට වඩා අඩු අගයක් පල්ලෙකැලේ තණතීරුවට ලබා දෙන්න මම තීරණය කළා” යැයි ICC elite පැනලයේ තරග තීරකවරයෙක් වන රංජන් මඩුගල්ල මහතා ICCය වෙත ලබා දුන් තරග වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

ඉහළ ලකුණු වාර්තා වෙමින් විසඳුමකින් තොරව පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට (29) ආරම්භ වන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අතිශයින්ම වැදගත් වනවා. ඒ ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි රැඳී සිටින 7 වැනි ස්ථානය තවදුරටත් ආරක්ෂා කර ගැනීමටයි.

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී හෙට ඇරඹෙන දෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවහොත් ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් රැඳී සිටින 7 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා පහතට වැටෙන නිසාවෙන් මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට රැඳී සිටින ස්ථානය ආරක්ෂා කර ගැනීමට බෙහෙවින් වැදගත් වනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<