“Kohliට සරදම් කිරීම වලසෙකුට ඇඟිල්ලෙන් ඇනීමක්.” – David Warner

275

මෙම වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේ දී ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohliට සරදම් කරමින් ඔහුව අපහසුතාවයට පත්කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක David Warner අනතුරු හඟවා ඇත.  

වර්ණවාදයට සංගාගෙන් පිළිතුරක්

ඒ අනුව මෙහිදී Warner එය වලසෙකුට ඇඟිල්ලෙන් ඇනීමකට සමාන කර ඇති අතර එවන් ක්‍රියා හේතුවෙන් Kohli වඩාත් හොඳින් ක්‍රීඩා කිරීමට පෙළඹෙනු ඇතැයි ඔහු තවදුරටත් පවසා ඇත. 

නව කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මාස ගණනාවක් පුරාවට ලෝකය පුරා ක්‍රිකට් තරග දින නියමයකින් තොරව කල් දැමීමෙන් අනතුරුව මේ වන විට ඒවා කෙමෙන් කෙමෙන් යථා තත්වයට පත්වෙමින් පවතියි. ඒ අනුව එළඹෙන දෙසැම්බර් සහ 2021 ජනවාරි මාස වලදී ටෙස්ට් තරග 4කින් සමන්විත තරගාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට සැලසුම් කර ඇත. 

ඕස්ට්‍රේලියා පිතිකරණ බලඇණියේ අතිශය වැදගත් පිතිකරුවෙකු වන David Warner එම තරගාවලියේ දී ඉන්දීය නායක Kohliට එරෙහිව ක්‍රීඩා කිරීමට බලා සිටින නමුත්, ඔහු අවධාරණය කර සිටින්නේ එහිදී ඔහුට සරදම් කිරීමෙන් වැළකී සිටීමට තමන් කටයුතු කරන බවයි. 

“මට සාර්ථකත්වය ලබා ගන්න ක්‍රීඩා ලෝලීනුත් ගොඩක් ඉවහල් වෙනවා. තවද ප්‍රතිවාදී ක්‍රීඩකයින් මට එරෙහිව ක්‍රීඩා කිරීම හරහාත් සාර්ථක වෙන්න මම උත්සාහ කරනවා. එහිදී සටනට අනුගත වීම ගොඩක් වැදගත්.” 

“මම හිතනවා Kohliත් ගොඩක් ඒ වගේ කියලා. ඔබ ඔහුට එරෙහිව පොඩි දෙයක් කරන්න ගියොත් ඔහු අනිත් අතට පිත්තෙන් ඊට වැඩිය ප්‍රබල ප්‍රහාරයක් අප වෙත එල්ල කරනවා. ඔහු ඉතා විශිෂ්ට ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. අපිට ඒක පසුගිය කාලය පුරාවටම දැකගන්න ලැබුන දෙයක්.”  

“ඇත්තටම වලහෙක්ට ඇඟිල්ලෙන් අණින එකේ තේරුමක් නැහැ. මොකද එහෙම කළොත් අන්තිමට වෙන්නේ ඒකෙන් ඔහු තවදුරටත් හොඳින්, ප්‍රබලව ක්‍රීඩා කරන්න යොමුවෙන එක විතරයි.” Warner විසින් India Today නාලිකාව සමඟ පවසනු ලැබීය. 

පසුගිය වසරේ දී දෙරට අතර පැවැත්වූ ටෙස්ට් තරගාවලියේ දී වසර 71ක් පුරාවට දැරූ දීර්ඝ උත්සාහයකින් අනතුරුව ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ දී සිය පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා කරගන්නට සමත් විය. 

හිටපු ශ්‍රී ලංකා නායිකාව UAE හි හිරවෙයි

කෙසේ නමුත් එම තරගාවලිය පැවැත්වූ කාල සීමාව තුළ Warner සහ Steven Smith පන්දුව පළුදු කිරීමේ සිදුවීමකට අදාළව තරග තහනමකට ලක්ව සිටි බැවින් ඔවුන් දෙදෙනා හට එම තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වූයේ නැත. ඒ අනුව Warner තවදුරටත් පවසා සිටින්නේ පසුගිය වසරට වඩා මෙවර තරගාවලිය සඳහා ඔවුන් ඉතා හොඳ සූදානමකින් පසුවන බවයි. 

“මේක ඉන්දියාව ගොඩක් බලාගෙන ඉඳපු තරගාවලියක්. මෙම තරගාවලිය ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. ගිය අවුරුද්දේ අපි ගොඩක් දුර්වල විදිහට ක්‍රීඩා කළේ නැති වුනත් අපි හොඳ ඉන්දීය කණ්ඩායමක් හමුවේ පරාජයට පත්වුනා. එහිදී ඔවුන්ගේ පන්දු යැවීම ඉතාමත් හොඳ තත්වයක තිබුනා.” 

“දැන් ලෝකයේ හොඳම පිතිකරණ බලඇණිය ඉන්නේ ඉන්දියාව සතුව. ඉතින් අපේ පන්දු යවන්නන් ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කරන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නේ.” 

එමෙන්ම එළඹෙන ඔක්තෝම්බර් මස 18 වන දින ඕස්ට්‍රේලියාවේ දීම පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කළහොත්, තමන් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද මෙහිදී Warner පවසා ඇත. 

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පවත්වනවා ද නැද්ද යන්න ජූලි මාසයේ දී තීරණය කිරීමට නියමිතව ඇති අතර එය කල් දැමීමට තීරණය කළහොත් මේ වන විටත් කල් දමා ඇති IPL තරගාවලිය පැවැත්වීමේ හැකියාවක් ඇත. නව කොරෝනා වසංගත තත්වයත් සමඟ මෙම වසරේ දී ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම ප්‍රායෝගික සහ යථාර්තවාදී දෙයක් නොවන බවට මේ වන විටත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය අදහස් පළකර ඇත. 

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

IPL තරගාවලියේ Sunrisers Hyderabad කණ්ඩායමේ නායකත්වය ද දරන David Warner පවසා සිටින්නේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන විදේශිකයින් සම්බන්ධව ඇති නිරෝධායන නීති මෙම වසරේ දී ලෝක කුසලානය පැවැත්වීම කෙරෙහි ඇති ගැටළු රැසෙන් එකක් වන බවයි. 

“හැම කණ්ඩායමක්ම ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගෙන්න ගන්න එක වටා අභියෝග ගොඩක් තියෙනවා. මොකද අපේ තියෙනවා දවස් 14ක නිරෝධායන නීතීන්. අපිට අනිවාර්යයෙන්ම ඒ නීති පිළිපදින්න වෙනවා. ඒ නිසා අපි ICCය මොනවගේ තීරණයක් ගනී ද කියලා බලාගෙන ඉන්නේ.” 

“ලෝක කුසලාන තරගාවලිය කල් ගිහින් IPL තරගාවලිය පවත්වනවා නම් මට හොඳටම විශ්වාසයි අපේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට ඇවිත් ඒකට ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා.” Warner අවසාන වශයෙන් පැවසීය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<