Cape Verde ඓතිහාසික ගමනක!

FIFA 2026

4

2026 පාපන්දු ලෝක කුසලානයේ 16 වැනි දිනයට අදාළ ව තරග 06ක් අද (27) දිනයේ දී ක්‍රියාත්මක වුනා. 

නෝර්වේ සහ ප්‍රංශය 

මෙවර තරගාවලියේ කාණ්ඩය නියෝජනය කරමින් තරග වැදුණු මෙම තරගය පිළිබඳ පාපන්දු ලෝලීන් විසින් දැඩි බලාපොරොත්තු තබා සිටි නමුත්, මෙහි දී නෝර්වේ කණ්ඩායම තම ප්‍රධාන ක්‍රීඩකයින් දස දෙනෙකු පසෙක තබා තරගය ආරම්භ කිරීමට තීරණය කළා, කෙසේ වෙතත් මෙහි දී ප්‍රංශය පාර්ශවයෙන් ඉතා දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දක්නට ලැබුණු අතර, Ousmane Dembele විසින් තරගයේ පළමු මිනිත්තු 32 තුළ ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් තරගයේ ජය ප්‍රංශයට හිමි වන බව තහවුරු කළා. 

තරගයෙන් ප්‍රංශයට ගෝල 4-1ක් ලෙස ජය හිමි වූ අතර, මෙහි දී Kylian Mbappe විසින් Assist දෙකක් ලබා දෙමින්, ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සහ Assist වාර්තා කළ අතර තෙවැනි තැනට පත් වීමට සමත් වුනා. 

සෙනගාලය සහ ඉරාකය 

මෙම තරගයේ දී සෙනගාලය විසින් ගෝල 5-0ක් ලෙස ඉතා පහසු ජයක් වාර්තා කිරීමට සමත් වූ අතර, අප්‍රිකානු කණ්ඩායමක් විසින් ලෝක කුසලාන තරගයක ගෝල පහක් වාර්තා කළේ ඉතිහාසයේ පළමු වතාවටයි. එමෙන්ම ඉරාකය මෙතෙක් කාලය තුළ ලෝක කුසලාන තරග 06ක් ක්‍රීඩා කර එකදු ජයක් හෝ ලැබීමට අසමත් ව සිටිනවා. 

උරුගුවේ සහ ස්පාඤ්ඤය  

මෙම තරගයේ දී ස්පාඤ්ඤය වෙනුවෙන් තරගයේ 42 මිනිත්තුවේ දී Alex Baena විසින් ගෝලයක් වාර්තා වූ අතර, තරගයේ වාර්තා වූ එකම ගෝලය එයයි. ඒ අනුව උරුගුවේ කණ්ඩායමට මෙවර තරගාවලියේ එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වූ අතර, ඔවුන් තරගාවලියෙන් ද ඉවතට විසි වී ගියේ Cape Verde සහ සෞදි අරාබිය අතර පැවැත්වුණු තරගයේ ප්‍රතිඵලය ද පාදක කර ගනිමිනුයි. එමෙන්ම ඔවුන් නොකඩවා ලෝක කුසලාන තරගාවලි දෙකක මූලික වටයෙන් ඉවත් වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වුනා. 

ස්පාඤ්ඤය විසින් මෙවර තරගාවලියේ තවමත් එකදු ගෝලයක් හෝ වෙනත් කණ්ඩායම්වලට ලබා ගැනීමට ඉඩ ලබා නොදීමත් විශේෂත්වයක්. 

කේප් වර්ඩ් සහ සෞදි අරාබිය 

ස්පාඤ්ඤය සහ උරුගුවේ තරගය සමඟින් ම මෙම තරගයත් ක්‍රියාත්මක වූ අතර, මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට අසමත් වුනා. 

ඒ අනුව කේප් වර්ඩ් මෙවර තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග ත්‍රිත්වයම ජය පැරදුමෙන් තොරව නිමා කර ගැනීමට සමත් වූ අතර, ඒත් සමඟින් ම කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් ඉදිරි වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වුනා. සිය මංගල ලෝක කුසලානයේ දීම පාපන්දු ලෝක කුසලානකය සහභාගී වූ ප්‍රමාණයෙන් කුඩාම සහ ජනගහණයෙන් තෙවැනියට කුඩාම රට ලෙසින් ඔවුන් මෙසේ පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබීමට සමත් වූ අතර, ලෝක කුසලාන තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබූ කුඩාම රාජ්‍යය බවට ද ඔවුන්ගේ නම සටහන් වුනා. 

නවසීලන්තය සහ බෙල්ජියම 

මෙම තරගයේ දී බෙල්ජියම විසින් සිය සුපුරුදු රිද්මය සොයා ගනිමින් ගෝල 05ක් වාර්තා කිරීමට සමත් වූ අතර, නවසීලන්තය විසින් වාර්තා කිරීමට සමත් වුනේ එක් ගෝලයක් පමණයි. 

එමෙන්ම මේත් සමඟින් නවසීලන්තය සිය ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් ක්‍රීඩා කර ඇති තරග 09න් එකක් හෝ ජය ගැනීමට සමත් වී නොතිබීමත් සුවිශේෂී සිදුවීමක් ලෙස වාර්තා අතරට එක් වුනා. 

ඊජිප්තුව සහ ඉරානය 

අද දිනය තුළ පැවැත්වුණු වඩාත් උණුසුම් තරගය ලෙස මෙය හඳුන්වා දිය හැකි. 

තරගයේ පස් වැනි මිනිත්තුවේ දී ඊජිප්තුව වෙනුවෙන් Mahmoud Saber ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඉරාන ක්‍රීඩක Ramin Razaeian විසින් තරගයේ 14 වැනි මිනිත්තුවේ දී තරගය සම මට්ටමට රැගෙන එමින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. 

එතැන් පටන් කණ්ඩායම් දෙකම නැවතත් ගෝල සඳහා උත්සාහයන් රැසක් දැරූ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වී ගියා. මේත් සමඟම කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගත් ඊජිප්තුව ඉතිහාසයේ පළමු වරට පළමු වටයෙන් ඉදිරියට යාමට සමත් වීම විශේෂත්වයක්. 

මෙහි දී තරගයේ අවසන් මොහොතේ දී ඉරානය වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට Shoja Kjalilzadeh විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ නමුත්, එය VAR තාක්ෂණය යටතේ Off side නීතිය හමුවේ අවලංගු වී ගියා. මේ හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට ඉරානයට ලෝක කුසලානයක පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී ගිය නමුත්, තවමත් ඔවුන්ට එක් එක් කාණ්ඩවල මුල් ස්ථාන දෙකට අමතරව තෝරා ගන්නා අනෙක් කණ්ඩායම් 08 අතරට එක් වීමට අවස්ථාවක් ඉතිරි වී තිබෙනවා. 

මේ අයුරින් අද දිනයට නියමිත තරග 06 නිමාවට පත් වන අතර, තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වීමට නියමිත අවසන් දිනය ලෙස හෙට (28) තවත් තරග 08ක් ක්‍රියාත්මක වීමට නියමිතයි. 

හෙට අලුයම 2.30  

  • පැනමාව සහ එංගලන්තය 
  • ක්‍රොයේශියාව සහ ඝානාව 

හෙට උදෑසන 5.00 

  • කොලොම්බියාව සහ පෘතුගාලය 
  • කොංගෝ සහ උස්බෙකිස්තානය  

හෙට උදෑසන 7.30 

  • ඇල්ජීරියාව සහ ඔස්ට්‍රියාව 
  • ජෝර්දානය සහ ආජන්ටිනාව 

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<