“අළුබඳුන ඉන්දු-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියකට සම කිරීම හරි ද?” – Stuart Broad ප්‍රශ්න කරයි

ලෝක ටෙස්ට් ශූරතාවලිය 2021

380

තරගකාරීත්වයෙන් මෙන්ම ගුණාත්මකභාවයෙන් ද ඉහළ අළුබඳුන වැනි තරගාවලියක් සමඟ ඉන්දු-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියක් සංසන්දනය කිරීම නිරර්ථක ක්‍රියාවක් බවත්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය ඉදිරියේ දී අනිවාර්‍යෙන්ම සංශෝධනය විය යුතු බවත් සුපිරි එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Struat Broad අවධාරණය කර තිබුණේ ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී ය. 

ඔහු විසින් පෙන්වා දී තිබුණේ තරග පහකින් සමන්විත අළුබඳුන තරගාවලියෙහි සමස්ත ජයග්‍රහණය සඳහා හිමිවන මුළු ප්‍රසාද ලකුණු සංඛ්‍යාවටම සමාන ගණනක්, තරග දෙකකින් සැදුම්ලත් ඉන්දු-බංග්ලාදේශ තරගාවලි ජයක් සඳහා වෙන් කිරීම එතරම් සාධාරණ තීන්දුවක් නොවන බවයි.

කෙසේ නමුත් ICCය මින් ඉහත දී මෙම ගැටලුව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් සඳහන්කොට තිබුණේ ඔවුන් මෙම ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ස්ථාපනය කිරීමේ මූලික අරමුණ වූයේ සාපේක්ෂව අඩු ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන රටවල් සඳහා සාධාරණයක් ඉටු කිරීමට බවයි.

“ලෝක ටෙස්ට් ශූරතාවලිය කියන සංකල්පය ඉතාමත් හොඳ එකක්. නමුත් තවමත් එහි අන්තර්ගතයේ සිදු විය යුතුම වෙනස්කම් රැසක් තියෙනවා. පළමු වතාවට මෙවැනි අත්දැකීමක් ලබන නිසා අඩුපාඩුකම් වෙන්න පුළුවන්. මට තේරුම් ගන්න අපහසු කාරණාව තමයි අළුබඳුන වගේ තරගාවලියකට ලැබෙන වටිනාකම කොහොමද ඉන්දියාවයි බංග්ලාදේශයයි අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකට සමාන කරන්නේ කියන එක.”

තවත් ක්‍රිකට් පුවත්:

WTC ප්‍රසාද ලකුණු පිරිනැමීමේ ක්‍රමවේදය අනුව යම් කණ්ඩායමකට ලකුණු සටහනේ ඉදිරියට යාමට අවශ්‍ය නම් ඔවුන් අවධානය ලබා දිය යුත්තේ තරග ජයග්‍රහණයන්ට මිස තරගාවලි ජයග්‍රහණයන්ට නොවන බව Broad මෙහි දී පෙන්වා දුන්නේ තරගාවලියක් ජය ගැනීමේ ඇති වටිනාකම මෙහි දී නොසළකා හැරීම අනුමත කළ නොහැකි බව සඳහන් කරමිනි.

“මේ සංකල්පය ඉදිරියට ගෙනාපු එක ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට යහපත් බලපෑමක් එල්ල කරනවා වගේම මේ වෙනස ක්‍රීඩකයින්ටත් තමන්ගේ උපරිම දක්ෂතා පෙන්වන්න හොඳ අවස්ථාවක් නිර්මාණය කරලා දෙනවා. නමුත් දැනට ක්‍රියාත්මක වෙන ආකෘතියේ අඩුපාඩුකම් ගොඩක් තියෙන නිසා ඉදිරියට වෙනස්කම් රැසක් එක්ක අළුත් වැඩපිළිවෙළක් හඳුන්වා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”

මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියෙහි වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ රටවල් අතරින් එංගලන්තය (තරග 21) පෙරමුණ ගනිද්දී ඉන්දියාව තරග 17කට මුහුණ දී තිබෙන්නේ අවසන් මහා තරගය සඳහා ද තම ආසනය වෙන් කරවා ගනිමිනි. තවද තරග 7ක් පමණක් සම්පූර්ණ කිරීමට හැකි වූ බංග්ලාදේශය එම සටහනේ අවසන් ස්ථානයෙහි රැඳී සිටිනවා.

“අපිට හොඳ අවස්ථාවක් තිබ්බා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්න. නමුත් මේ පවතින ක්‍රමයත් එක්ක අපිට සෑහෙන තරග ප්‍රමාණයකට ක්‍රීඩා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අවසන් මහ තරගයට තේරෙන්න තියෙන සම්භාවිතය තවත් සීමා සහිත වෙනවා.”

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙම වසර ආරම්භයේ දී සනිටුහන් කළ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයන් ද්විතයත් සමඟින් එම කණ්ඩායමේ දෙකෙහි අවසන් මහා තරග සිහිනය බොඳ කර දැමීමට ඉන්දියාව සමත් වූ අතර ඉන් නොනැවතුනු ඔවුන් එළඹෙන ජුනි මස 18 වැනිදා එංගලන්තයේ දී ක්‍රියාත්මක වීමට නියමිත WTC අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබාගැනීමට සමත්කම් දැක්විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<