සඳුන්, සොහාන්, ශෙරන් සහ සොනාල් අර්ධ ශතක වාර්තා කරයි

Singer - MCA Super Premier League 2023          

217
Singer - MCA Super Premier League 2023

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම එක්ව 30 වැනි වරටත් සංවිධානය කරනු ලබන Singer – MCA Super Premier League 2023 ක්‍රිකට් තරගාවලිය අද (10) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වුනා.

ඒ අනුව පැවති තරගවල දී HNB A කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි, BBK Partnership කණ්ඩායමේ සොහාන් ද ලිවේරා සහ ශෙරන් ෆොන්සේකා, CL Synergy Limited කණ්ඩායමේ සොනාල් දිනූෂ අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී මෙවරත් කැපී පෙනෙන දක්ෂතා දැක්වූයේ John Keels A කණ්ඩායමේ අකිල දනංජයයි.

නිමා වූ තරගවල දී HNB A, BBK Partnership සහ CL Synergy Limited කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර HNB A මෙම ජයග්‍රහණයත් සමඟින් තරගාවලියේ මෙතෙක් පැවති තරග 2 ම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

කටුනායක FTZ ක්‍රීඩාංගණය

HNB A සහ MODE Engineering අතර පැවති මෙම තරගයෙන් ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගැනීමට HNB A ක්‍රීඩකයෝ සමත් වුනා.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ HNB A ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 197ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිමේ දී MODE Engineering ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 174ක් පමණයි.

HNB A කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා. මෙම අර්ධ ශතකය ඔහු මෙම තරගාවලියේ දී පිට පිට වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකයයි.

ඔහු රන්මිත් ජයසේන (12) සමඟ එක් වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ද සහ නායක මාධව වර්ණපුර හා එක් ව හයවැනි කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වුනා.

මාධව වර්ණපුර පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශෂික දුල්ෂාන් ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වෙද්දී දනාල් හේමානන්ද ද කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු MODE Engineering ඉනිම වෙනුවෙන් යොහාන් ලියනගේ පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිමක නිරත වුනා. පන්දු යැවීමේ දී මධුක ලියනපතිරණ ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තා.

  • HNB A – කඩුලු 9ක් දැවී 197 (50) සඳුන් වීරක්කොඩි 59, මාධව වර්ණපුර 35, මනෙල්ක ද සිල්වා 27, රවීන් ද සිල්වා නොදැවී 19, මධුක ලියනපතිරණගේ නොදැවී 21,දනාල් හේමානන්ද 3/48, ශෂික දුල්ශාන් 3/18

  • MODE Engineering – සියලුම දෙනා දැවී 174 (46.2) විනුක රූබසිංහ 25, යොහාන් ලියනගේ 35, දනාල් හේමානන්ද 22, ශශික දුල්ශාන් නොදැවී 23, මධුක ලියනපතිරණගේ 3/29, මාධව වර්ණපුර 2/53, සඳුන් වීරක්කොඩි 2/28, රවීන් ද සිල්වා 2/32

HNB A කණ්ඩායමට ලකුණු 23ක ජයක්.

NCC ක්‍රීඩාංගණය

BBK Partnership සහ CDB A කණ්ඩායම් අතර පැවති මෙම තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 64ක ජයග්‍රහණයක් ලබා ගැනීමට BBK Partnership කණ්ඩායම සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් CDB A නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි BBK Partnership ක්‍රීඩකයෝ ලකුණු 222ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් සොහාන් ද ලිවේරා සහ ශෙරන් ෆොන්සේකා අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

ලකුණු 16කට කඩුලු 2ක් බිඳ වැටී තිබිය දී පිටියට එක් වූ ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 119ක දී ලකුණු 100ක සබඳතාවක් එක් කළා.

සොහාන් ද ලිවේරා පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගත් අතර ශෙරන් ෆොන්සේකා පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නායක ලහිරු මධුශංක ලකුණු 54කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි CDB A ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 29.2ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය එතැන් සිට නතර කිරීමට සිදු වූවා. ඒ වෙද්දී ඔවුන්ගේ කඩුලු 7ක් ද අහිමි ව තිබූ අතර ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලකුණු 178ක් අවශ්‍යව තිබුණා. නමුත් ඒ වෙද්දී ඔවුන් ලබා ගෙන තිබුණේ ලකුණු 113ක් පමණයි.

පරාජිත එම ඉනිම වෙනුවෙන් මුදිත ලක්ෂාන් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියා. පන්දු යැවීමේ දී ඉසිත විජේසුන්දර ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

  • BBK Partnership – සියලුම දෙනා දැවී 222 (50) සොහාන් ද ලිවේරා 56, ශෙරන් ෆොන්සේකා 65, ජෙනි ෆ්ලෙමින් 24, ඉසිත විජේසුන්දර 20, මුර්වින් අභිලාෂ් 20, ලහිරු මධුශංක 3/54, ලක්ෂාන් සඳකැන් 2/46

  • CDB A – කඩුලු 7ක් දැවී 113 (29.2) මුදිත ලක්ෂාන් නොදැවී 32, ලහිරු මදුශංක 20, ඉසිත විජේසුන්දර 3/26, සරන් ඇන්ටන් 2/22

BBK Partnership කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 64ක ජයක්.

MCA ක්‍රීඩාංගණය

CL Synergy Limited සහ John Keels A කණ්ඩායම් අතර පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 31ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට CL Synergy Limited කණ්ඩායම සමත් වූවා.

කාසියේ වාසිය දිනා ගත් CL Synergy Limited ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 9ක් දැවී ලකුණු 242ක් ලබා ගැනීමට සමත් වූවා. එම ඉනිම වෙනුවෙන් සොනාල් දිනූෂ පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 82ක් ලබා ගත්තා.

කෙසේ වෙතත් පළමු කඩුල්ල ලකුණු 14 දී දැවී ගිය පසු නවොද් පරණවිතාන සහ අවිශ්ක තරිඳු එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් එක් කිරීමට සමත් වීම කැපි පෙණුනා.

අවිශ්ක තරිඳු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා ගනිද්දී නවෝද් පරණවිතාන පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී අකිල ධනංජය ලකුණු 32කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි John Keels A ක්‍රීඩකයන්ගේ ඉනිම වර්ෂාව හේතුවෙන් පන්දුවාර 28.2කට සීමා වූවා. ඒ වෙද්දී ලකුණු පුවරුව පැවැතියේ කඩුලු 7ක් දැවී ලකුණු 162ක් ලෙසයි. නමුත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ජයග්‍රහණය ලබන්නට නම් ඔවුන් ඒ වෙද්දී ලකුණු 194ක් ලබා ගත යුතුව තිබුණා.

අතර මග අතහැර දැමුණ එම ඉනිම වෙනුවෙන් අහන් වික්‍රමසිංහ පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටියා.

පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක්වූ සොනාල් දිනූෂ ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්තා.

  • CL Synergy Limited – කඩුලු 9ක් දැවී 242 (50) නවෝද් පරණවිතාන 41, අවිශ්ක තරිඳු 29, සොනාල් දිනූෂ නොදැවී 82, අකිල ධනංජය 4/32, නිමේෂ් විමුක්ති 2/34

  • John Keels A – කඩුලු 7ක් දැවී 162 (28.2) දුවිඳු තිලකරත්න 19, කවින් බණ්ඩාර 32, අහන් වික්‍රමසිංහ නොදැවී 41, ධනංජය ලක්ෂාන් 24, නිමේෂ් විමුක්ති 19, ප්‍රියමාල් පෙරේරා 2/31, දිලුම් සුදීර 2/45, සොනාල් දිනූෂ 2/20

CL Synergy Limited කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 31ක ජයක්.

මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ Fairfirst Insurance සහ Hayleys Group A අතර තරගය නොවැලැක්විය හැකි හේතුවක් නිසා නොපැවති අතර එම තරගය හෙට (11) කොළඹ 7, MCA ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් රැගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<