වනිඳු, කුසල් සහ මහීෂ්ට පළමු T20 තරගය මඟ හැරෙන ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2022

7960

ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, මුල්පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සහ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හට ඉන්දියාව සමඟ හෙට (24) Lucknow හිදී පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මඟහැරීමට වැඩි ඉඩක් තිබෙන වාර්තා වෙනවා.

පසුගිය දා අවසන් වුනු ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය අතරතුර පෙබරවාරි 14 වැනිදා වනිඳු හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වීම නිසා ඔහුට දෙරට අතර පැවති අවසන් විස්සයි විස්ස තරග තුනම මඟ හැරී ගියා.

අනතුරුව පසුගිය 21 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පැමිණි නමුත්, වනිඳුගේ නියමිත නිරෝධායන කාලය ඒ වන විට අවසන් වී නොතිබීම නිසා ඔහුට එදින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ ඉන්දියාව බලා පැමිණීමට හැකියාවක් ලැබුණේ නැහැ.

නමුත් ඊයේ (22) දිනයේ දී සිදු කරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිඵලය මත ඔහුගේ ශරීරය තුල තවමත් කොවිඩ් වයිරසය තිබෙන බවට හඳුනා ගැනීමත් සමඟම ඔහුව තවදුරටත් නිරෝධායනයට යොමු කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

තවද ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා අවසන් විස්සයි විස්ස තරගයේ වීරයා බවට පත්වෙමින් නොදැවී අගනා ලකුණු 69*ක් ලබා ගත් කුසල් මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා ප්‍රධාන දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන මහීෂ් තීක්ෂණ හට යම් ආබාධමය තත්වයක් පැන නැගී තිබෙන නිසා හෙට (24) දිනයේ දී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය සඳහා ඔවුන්ගේ සහභාගීත්වය ද යම් ගැටලුකාරී තත්වයකට පත්ව තිබෙනවා.

කෙසේ නමුත් වනිඳුට ඉදිරි පැය 24ක කාලය තුල තවත් PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙන අතර එය සාමාන්‍ය වුවහොත් ඔහුට ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරග දෙක ක්‍රීඩා කිරීම සඳහා යම් ඉඩක් තිබෙනවා.

ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය: දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, ජනිත් ලියනගේ, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිල් මිෂාර, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු, අශේන් ඩැනියල්

පසුගිය 19 වැනිදා පැවති පුහුණු සැසියක් අතරතුර පන්දු රකිමින් සිටිය දී ශ්‍රී ලංකා පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ දකුණු දණහිසේ පන්දුවක් වැදීම නිසා ඔහුට යම් දරුණු ආබාධයක් සිදු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත වුනා.

ඒ අනුව එම ශල්‍යකර්මය අද (23) උදෑසන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හී රෝහලක දී පැය 2ක කාලයක් තිස්සේ සිදු කර තිබෙන අතර ප්‍රකට ඕස්ට්‍රේලියානු ශල්‍ය වෛද්‍යවරයෙකු වන David Alexander Young විසින් එය ඉතාමත් සාර්ථකව සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ කාලසටහන

දිනය තරගය ක්‍රීඩාංගණය
පෙබරවාරි 24 පළමු විස්සයි විස්ස තරගය  Lucknow
පෙබරවාරි 26 දෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
පෙබරවාරි 27 තෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
මාර්තු 4 සිට 8 දක්වා පළමු ටෙස්ට් තරගය Mohali
මාර්තු 12 සිට 16 දක්වා දෙවැනි ටෙස්ට් තරගය (දිවා/රාත්‍රී) Bengaluru

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<