භානුක සහ ඕස්ට්‍රේලියාවට ගිය තුන්දෙනෙක් ඉන්දීය සංචාරයෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

11915

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය අද (21) නම් කෙරුණා.

එහි දී ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා එක්වුණු ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ සිටි ක්‍රීඩකයින් තුන් දෙනෙක් ඉවත් කොට, නවක දඟපන්දු යවන ක්‍රීඩක අශේන් ඩැනියල් පළමු වරට ශ්‍රී ලංකා සංචිතයකට ඇතුලත් කර තිබෙනවා.

ඒ අනුව තරග 5කින් සමන්විත තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා සංචිතයේ සිටි රමේෂ් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ නුවන් තුෂාර ආබාධවලට ලක්ව සිටීම නිසා මේ සංචිතයෙන් ඉවත් කර තිබෙන නමුත් එම ක්‍රීඩකයින් තිදෙනා වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් කර තිබෙන්නේ අශේන් ඩැනියල් පමණයි.

කෙසේ නමුත් පසුගිය කාලසීමාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි නිත්‍ය ක්‍රීඩකයින් මෙන්ම ලෝක කුසලාන සංචිතයට ද ඇතුළත් වූ කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා සහ භානුක රාජපක්ෂ මෙම සංචිතයට ඇතුළත් කර  නැහැ.

කිලෝමීටර 2ක දුර ප්‍රමාණය දිවයමින් පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීම නිසා පසුගිය 18 වැනිදා සිට ඉන්දීය සංචාරය සඳහා එක්වන ක්‍රීඩකයින් ඇතුළත් ජෛව ආරක්ෂිත බුබුළ සඳහා භානුක රාජපක්ෂ ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කළා.

කෙසේ නමුත් භානුක skinfolds පරික්ෂාව අසමත් වීම හේතුවෙන් ඔහුව එක් වරම සංචිතයෙන් ඉවත් කර තිබෙන බව ද වාර්තා වනවා.

ශ්‍රී ලංකාව අවසන් වරට 2020 ජනවාරි මාසයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වුනු අතර එම තරගාවලියට ඇතු​ළත් වුනේ විස්සයි විස්ස තරග තුනක් පමණයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් 2017 වසරට පසුව ඉන්දියාව සමඟ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කර නොමැති අතර මේ ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ වසර 5කට පසුව වීම විශේෂත්වයක්.

ඉන්දීය ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතයි.

ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය:

දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, ජනිත් ලියනගේ, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිල් මිෂාර, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු, අශේන් ඩැනියල්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ කාලසටහන

දිනය තරගය ක්‍රීඩාංගණය
පෙබරවාරි 24 පළමු විස්සයි විස්ස තරගය  Lucknow
පෙබරවාරි 26 දෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
පෙබරවාරි 27 තෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
මාර්තු 4 සිට 8 දක්වා පළමු ටෙස්ට් තරගය Mohali
මාර්තු 12 සිට 16 දක්වා දෙවැනි ටෙස්ට් තරගය (දිවා/රාත්‍රී) Bengaluru

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<