“භානුකගේ ක්‍රිකට් දිවිය අවසන් නැහැ” – ක්‍රීඩා ඇමති

737

එළඹෙන ඉන්දීය සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ප්‍රහාරාත්මක වමත් පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ ඇතුළත් නොවුන ද, එය ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසානය නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද (22) පාර්ලිමේන්තුවේ දී සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා ද තෝරා ගෙන ඇති භානුක රාජපක්ෂව එළඹෙන ඉන්දීය තරගාවලිය සඳහා නම් නොකිරීමට පියවර ගෙන ඇත්තේ ඇයි දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා මෙහි දී විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය තරගාවලිය සඳහා සංචිතය නම් කර ඇත්තේ තේරීම් කමිටුවේ හා පුහුණුකරුවන්ගේ නිර්දේශ මත බවයි.

“භානුක රාජපක්ෂ කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. ඒක අපි හැමෝම දන්නවා. භානුක කියන්නේ හොඳ අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම අපි විශ්වාස කරනවා අපේ රට නියෝජනය කළ යුතු ක්‍රීඩකයෙක්”, යනුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා එම ගැටලුවට පිළිතුරු දෙමින් පවසා සිටියා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ඔහුව තෝරා නොගැනීමට හේතු මොනවද කියලා ඔහුව දැනුවත් කරලා තියෙනවා සහ අමාත්‍යවරයා විදිහට ඔවුන් මාවත් දැනුම්වත් කරා. මේක ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අවසානය නෙවෙයි. ඔහුට ඕනෙ තරම් වයස තියෙනවා, හැකියාව තියෙනවා, දක්ෂතාවය තියෙනවා. ඉතිං මම විශ්වාස කරනවා ඔහු හොඳ නැවත ආගමනයක් ක්‍රිකට්වලට දෙයි කියලා”, යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සඳහා වන ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය ඊයේ (21) නිවේදනය කෙරුණු අතර, ඊට භානුක රාජපක්ෂ ඇතුළත් කර තිබුණේ නැහැ. ඒ, සමේ මේද මට්ටම නියමිත ප්‍රමාණයට නොපැවතීම හේතුවෙන්.

කිලෝමීටර දෙකක දුර ප්‍රමාණය දිවයමින් පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීම නිසා පසුගිය 18 වැනිදා සිට ඉන්දීය සංචාරය සඳහා එක්වන ක්‍රීඩකයින් ඇතුළත් ජෛව ආරක්ෂිත බුබුළ සඳහා භානුක රාජපක්ෂ ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කළා.

ඒ වන විට ඔහුගේ සමේ මේද මට්ටම 96ක වැනි අගයක පැවතුනත්, සංචිතය නම් කිරීමට පෙර දිනයේ දී සිදු කළ skinfolds පරික්ෂාවේ දී එම අගය 102ක් දක්වා එක්වරම වැඩි වී තිබීම හේතුවෙන් මෙසේ ඔහුව එක් වරම සංචිතයෙන් ඉවත් කර තිබෙන බව ද වාර්තා වනවා.

ඉන්දීය ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතයි.

ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය: දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, ජනිත් ලියනගේ, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිල් මිෂාර, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු, අශේන් ඩැනියල්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ කාලසටහන

දිනය තරගය ක්‍රීඩාංගණය
පෙබරවාරි 24 පළමු විස්සයි විස්ස තරගය  Lucknow
පෙබරවාරි 26 දෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
පෙබරවාරි 27 තෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
මාර්තු 4 සිට 8 දක්වා පළමු ටෙස්ට් තරගය Mohali
මාර්තු 12 සිට 16 දක්වා දෙවැනි ටෙස්ට් තරගය (දිවා/රාත්‍රී) Bengaluru

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<