වනිඳු ආපසු ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

1152

ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ අවසන් PCR ප්‍රතිඵලය සාමාන්‍ය වීම නිසා ඔහු ඕස්ට්‍රේලියාවේ සිට නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණ තිබෙනවා.

කෙසේ නමුත් නිරෝධායන දින ගන්නේ ගැටලුවක් නිසාවෙන් ඔහුට ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ඉතිරි තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හැරී යනවා.

පසුගිය දා අවසන් වුනු ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය අතරතුර පෙබරවාරි 14 වැනිදා වනිඳු හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වීම නිසා ඔහුට දෙරට අතර පැවති අවසන් විස්සයි විස්ස තරග තුනම මඟ හැරි ගියා.

අනතුරුව පසුගිය 21 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පැමිණි නමුත්, වනිඳුගේ නියමිත නිරෝධායන කාලය ඒ වන විට අවසන් වී නොතිබීම නිසා ඔහුට එදින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ ඉන්දියාව බලා පැමිණීමට හැකියාවක් ලැබුණේ නැහැ.

නමුත් පසුගිය 22 වැනිදා සිදු කරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිඵලය මත ඔහුගේ ශරීරය තුල ඒ වන විටත් වයිරසය තිබෙන බවට හඳුනා ගැනීමත් සමඟම ඔහුව තවදුරටත් නිරෝධායනයට යොමු කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබුණා.

ඉන් පැය 48කට පසුව සිදු කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵලය සාමාන්‍ය වී තිබෙනවා. ඒ නමුත් ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩකයින්ගේ ජෛව ආරක්ෂිත බුබුලට (Bio bubble) ඇතුලත් වීම සඳහා වනිඳු තවත් දින කිහිපයක් නිරෝධායනය වීම අනිවාර්ය වීම නිසාවෙන් ඔහුට ඉන්දියාව සමඟ හෙට (26) සහ අනිද්දා (27) පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග දෙකම ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසාවෙන් ඔහු ඕස්ට්‍රේලියාවේ සිට කෙලින්ම ශ්‍රී ලංකාව බලා පැමිණීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (24) Lucknow හිදී පැවැත්වුණු පළමු තරගය ලකුණු 62කින් ජය ගැනීමට සමත් වුනු ඉන්දියාව 1-0ක් ලෙස දැනට තරගාවලියේ පෙරමුණ දිනාගෙන සිටිනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි විස්ස තරගය මේ මස 26 වැනිදා ධර්මසාලා හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<