ගෙවුණු දවස සැප්තැම්බර් 05 – රග්බි නායකයාට පළමු අදියර මග හැරේ

197

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

රග්බි –

මුතුතන්ත්‍රිට පළමු අදියර මග හැරේ

ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රි සති තුනක කාලයක් සඳහා විවේක ගැන්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තීරණය කර තිබේ. ඒ ‘මුතුතන්ත්‍රිගේ වම් අතේ මැණික් කටුව ප්‍රදේශයේ සිදු වී තිබෙන ආබාධ තත්වයක් නිසාවෙනි.

මෙම ආබාධ තත්වය නිසාවෙන්, සැප්තැම්බර් 14 සහ 15 දිනයන්හි හොංකොං හිදී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවයේ පළමු අදියර සඳහා මුතුතන්ත්‍රි සහභාගී නොවන බව වාර්තා වේ. සැප්තැම්බර් 29 හා 30 දිනයන්හි දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත තරගාවලියේ දෙවන අදියර සඳහා ද මුතුතන්ත්‍රිගේ සහභාගිත්වය අවිනිශ්චිත බව ද වාර්තා වේ.

සම්පූර්ණ වාර්තාව: මුතූට ආසියානු පළමු අදියර මග හැරෙන ලකුණු

දැල්පන්දු –

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිතයි

සිංගප්පූරුවේ OCBC ගෘහස්ථ පිටියේ දී පැවැත්වෙන 11 වන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ කුසලාන වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය ඊයේ (5) මැලේසියානු කණ්ඩායම සමඟ පැවති අතර  අතර එම තරගය ලකුණු 62-59ක් ලෙස ජය ගැනීමට ශ්‍රී කණ්ඩායම සමත් විය.

4 වැනිදා පැවති තරගයේ දී සත්කාරක සිංගප්පූරු කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීම නිසා ඔවුන් මේ තරගය සඳහා අවතීර්ණ වූයේ ඉතාමත් ජවසම්පන්න මානසිකත්වයකිනි. නමුත් තරගයේ පළමු කාර්තුව තුල ගියවර ශූරතාවය දිනා ගත් මැලේසියානු කණ්ඩායම ලකුණු 13-15ක් ලෙස ලකුණු දෙකකින් පෙරමුණේ සිටින ලදි. ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා – සිංගප්පූරු තරගයේ පළමු කාර්තුවේ දී ද ශ්‍රී ලංකාව තරමක පසුබැස්මක් පෙන්නුම් කළේය.

සම්පූර්ණ වාර්තාව: පෙරළිකාර ශ්‍රී ලංකා කාන්තාවෝ අපරාජිතව අවසන් 4ට

පාපන්දු –

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට පරාජය

SAFF Suzuki කුසලානයේ (දකුණු ආසියානු කුසලානය) ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් 2-0ක් ලෙසින් ඉන්දියාව හමුවේ පරාජය විය. B කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය පැවැත්වුණේ බංගලාදේශයේ ඩකා අගනුවර බංගබන්ධු ක්‍රීඩාංගණයේ දී ය.

මෙම තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම ජපානයේ සහ දකුණු කොරියාවේ පුහුණු සැසියකට ද සහභාගී වූ අතර ඒ අත්දැකීම් ද සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වන ලදි.

අනෙක් පසින් ඉන්දියාව මෙම තරගාවලිය සඳහා සුනිල් චෙත්රි, ජේජේ, බල්වන්ත් සිං ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඉදිරිපත් නොකළේ ලබන වසරේ පැවැත්වෙන ආසියානු කුසලානය සඳහා යොවුන් ක්‍රීඩකයන් සොයා ගැනීමේ අටියෙනි. ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් අවුරුදු 24 අඩු ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි.

සම්පූර්ණ වාර්තාව: ඉන්දීය අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව නිරුත්තර වෙයි

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්