ශ්‍රී ලංකාව 2016ට පසුව ඉන්දියාවේ දී T20 ජයක් සොයයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2022

273

ලොව දැනට අංක 1 විස්සයි විස්ස කණ්ඩායම වන ඉන්දියාව සහ සංචාරක ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද (24) සිට ආරම්භ වීමට නියමිතයි.

පෙබරවාරි 24 වැනිදා (අද) Lucknow හිදී ආරම්භ වන මේ තරගාවලියට විස්සයි විස්ස තරග තුනට අමතරව ටෙස්ට් තරග දෙකක් ද ඇතුළත් වෙනවා.

ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස ඉතිහාසය පරීක්ෂා කිරීමේ දී ඉන්දියාව පෙරමුණේ සිටින අතර ඔවුන්ගේ නිජබිමේ දී ඉන්දියාව පරාජය කිරීමට හැකි නම් එය සැබැවින්ම විශිෂ්ට ජයග්‍රහණයක්.

මෙතෙක් දෙරට අතර විස්සයි විස්ස තරග 22ක් පවත්වා ඇති අතර ඉන් තරග 14ක ජය ඉන්දියාව සතු වෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 7ක්. ඊට අමතරව තවත් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් වරට පැවති විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවත්, 2020 ඉන්දියාවේ පැවති විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේ ඉන්දියාවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් එපිට පැවති විස්සයි විස්ස තරගයක දී අවසන් වරට ඉන්දියාව පරාජය කර තිබෙන්නේ 2016 දීයි.

ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක (නායක), චරිත් අසලංක (උපනායක), දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ධනුශ්ක ගුණතිලක, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, දුශ්මන්ත චමීර, ලහිරු කුමාර, ජනිත් ලියනගේ, කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, පැතුම් නිස්සංක, මහිෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, අශේන් ඩැනියල්.

ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩකයන් අතරින් වැඩි ප්‍රමාණයක් විස්සයි විස්ස පිටියට මෑතක දී එක් වූ තරුණයින්. මේ අතරින් ජ්‍යෙෂ්ඨයා වන්නේ දිනේෂ් චන්දිමාල්. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 65කට ක්‍රීඩා කරමින් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1021ක්.

ඉන්දියාවට එරෙහිව තරග 6කට ක්‍රීඩා කර ඇති චන්දිමාල් එහි දී මුළු ලකුණු 99ක් ලබා ගෙන තිබෙනවා. මේ අත්දැකීම් සහ මීට පෙර නායකත්වය ද හොඹවා ඇති චන්දිමාල්ගේ නිපුණතාවන් මෙම තරගාවලියට වඩාත් වැදගත් වෙනු ඇත.

එසේම ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාව ඔවුන්ගේ රටේ දී අවසන් වරට විස්සයි විස්ස තරගයක් පරාජයට පත්වුනේ 2016 වසරේ දී වන අතර එහි දී ශ්‍රී ලංකාව මෙහෙයවනු ලැබුවේ දිනේෂ් චන්දිමාල් විසින්.

චන්දිමාල්ගෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින් ම කියවෙන නායක දසුන් ශානක ද එම තරගාවලිය ක්‍රීඩා කරමින් ඉතාමත් හොඳින් දස්කම් දැක්වූවා. ඔහු මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ විස්සයි විස්ස තරග ප්‍රමාණය 62ක්. ඒ අතර ඔහු ඉනිම් 58ක දී රැස්කරගෙන සිටින්නේ ලකුණු 823ක් පමණයි. එහි සාමාන්‍ය 17.89ක්.

කෙසේ වෙතත් ශානක නිමාවුණු ඕස්ට්‍රේලියානු සංචාරයේ දී තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර සිව්වැනි තැන දිනා ගත්තේ වැඩිම ලකුණු ලබා ගත් ශ්‍රී ලාංකිකයින් අතර පැතුම් නිස්සංකට පමණක් දෙවැනි වෙමින්.

දසුන් ඉන්දියාවට එරෙහිව තරග 15කට පමණක් ක්‍රීඩා කර තිබෙන අතර ඉන් තරග 10ක් ම ක්‍රීඩා කරන්නේ එරට දී. එම ඉනිම් 15 දී ඔහු ලකුණු 149ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

මහීෂ් තීක්ෂණ සහ කුසල් මෙන්ඩිස් හට පළමු විස්සයි විස්ස තරගය මඟ හැරී යාමට වැඩි ඉඩක් තිබෙන අතර වනිඳු හසරංග හට මේ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට හැකි වේ ද, නැද්ද යන්න තවමත් ගැටලුවක්.

එසේ වුවහොත් අශේන් ඩැනියල් හට මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමි වීමට වැඩි ඉඩක් තිබෙන අතර, ජනිත් ලියනගේ සහ කමිල් මිශාර වැනි තරුණ ක්‍රීඩකයින්ට ද නැවතත් ඔවුන්ගේ දස්කම් ලොවට පෙන්වීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

දුෂ්මන්ත චමීර

ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත වේගපන්දු යවන ක්‍රීඩකයා වන්නේ දුෂ්මන්ත චමීරයි. ඉන්දියානු තණතීරු බොහෝමයක් සාමාන්‍යයෙන් පිතිකරුවන්ට උචිත වෙන ලෙස සකස් වෙන නිසා ප්‍රබල ඉන්දීය පිතිකරණ බලඇණිය හැකි අවම මට්ටමේ ලකුණකට සීමා කිරීම සඳහා චමීරගේ දායකත්වය ශ්‍රී ලංකාවට ඉතාමත් වටිනවා.

චමීර මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස තරග 44කට පමණයි. ඔහු මේ දක්වා පන්දු යැවූ ඉනිම් 44ක දී කඩුලු 45ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ සඳහා ඔහු ප්‍රතිවාදීන්ට ලබා දී ඇත්තේ ලකුණු 1228ක් පමණක් වන අතර ඔහුගේ  ලකුණු ලබා දීම 7.85ක් වැනි අගයක පවතිනවා.

චමීර සිය ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ ඉන්දියාවට එරෙහිව තරග 12ක් ක්‍රීඩා කර තිබෙන අතර එහි දී ඔහු කඩුලු 14ක් දවාගෙන දස්කම් දක්වා තිබෙනවා. ඉන් කඩුලු 8ක්ම ඉන්දියාව තුල දී දවා ගත් කඩුලු වීම සුවිශේෂී වෙනවා.

චරිත් අසලංක

මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 14කට පමණක් ක්‍රීඩා කර ඇති චරිත් මෙම සංචාරයේ දීත් කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරනවා.

අසලංක මෙතෙක් තමන් ක්‍රීඩා කළ තරග 14 දී ලබා සිටින්නේ ලකුණු 359ක් පමණක් වූවත්, එහි සාමාන්‍ය 27.61ක රඳවා ගැනීමට ඔහු සමත් වී තිබෙනවා. අර්ධ ශතක දෙකකින් හෙබි එම ලැයිස්තුවේ ඉන්දියාව සමඟ එක් තරගයක් ද වෙනවා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති ඔහුගේ මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයයි. ඒ තරගයේ දී අසලංක පන්දු 26ක දී ලකුණු 44ක් ලබා ගන්නවා.

නිමාවුණු ඕස්ට්‍රේලියාව වැනි වේගවත් සහ ඉපිලීම වැඩි තණතීරුවල වැඩි දස්කම් දැක්වීමට අසලංකට නොහැකි වුවත්, මේ ඉන්දීය සංචාරයේ දී ඔහු නැවතත් ලකුණු අතරට අවතීර්ණ වනු ඇති බව අප සැමගේ විශ්වාසයයි.

පැතුම් නිස්සංක

ශ්‍රී ලංකා පිතිකරුවන් අතර මෑත කාලයේ ඉහළින්ම කතාබහට ලක්වුණු ක්‍රීඩකයෙක් ලෙස පැතුම් නිස්සංක හඳුන්වා දීමට පුළුවන්. ඔහු නිමා වූ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට ද පත්වුනු අතර යම් දුර්වලතාවයක් පෙන්නුම් කරන ශ්‍රී ලංකා මුල්පෙළ ස්ථාවර කිරීම සඳහා පැතුම්ගේ දායකත්වය විශාල මෙහෙයක් වනු නිසැකයි. එසේම ICC විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 15 වැනි ස්ථානය දිනා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.

ඉන්දියානු විස්සයි විස්ස සංචිතය

Rohit Sharma (නායක), Ruturaj Gaikwad, Ishan Kishan, Shreyas Iyer, Venkatesh Iyer, Deepak Hooda, Jasprit Bumrah (උපනායක), Bhuvneshwar Kumar, Harshal Patel, Mohammed Siraj, Sanju Samson, Ravindra Jadeja, Yuzvendra Chahal, Ravi Bishnoi, Kuldeep Yadav, Avesh Khan.

පළපුරුදු තරුණ ක්‍රීඩකයන් වැඩි දෙනෙක්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ තරග බිමට පිවිසෙන්නේ නිමා වූ කොදෙව් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කරමිනුයි.

Rohit Sharma

ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හිමි 34 හැවිරිදි Rohit Sharma කණ්ඩායමේ විශ්වාසවන්තම සහ ශ්‍රේණිගත කිරීම් අතින් ද ඉදිරියෙන්ම සිටින පිතිකරුවෙක් ලෙසින් හැඳින්විය හැකි.

ඔහු මේ වන විට විස්සයි විස්ස තරග 122කට ක්‍රීඩා කරමින් ලකුණු 3263ක් රැස් කරගෙන සිටිනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ඉන් තරග 15ක් ක්‍රීඩා කර ඇති Rohit ලකුණු 289ක් ලබා ගෙන තිබෙනවා.

Rohitගේ විස්සයි විස්ස තරග ලැයිස්තුවේ ශතක හතරක් ඇතුළත් වීම විශේෂයි. ඉන් එක ශතකයක් ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගෙන තිබෙන අතර එම ශතක ඉනිම ඔහුගේ විස්සයි විස්ස දිවියේ ඉනිමක දැනට ලබාගෙන තිබෙන හොඳම ලකුණු ප්‍රමාණය (118) ද වෙනවා.

එසේම ඔවුන්ගේ ප්‍රධාන පිතිකරණ තුරුම්පුවක් වන Suryakumar Yadav නොමැති නිසා මේ තරගාවලිය පුරාවට Rohitගේ වගකීම් වැඩි වීමට ද ඉඩකඩ තිබෙන අතර ඔහුගේ පිතිකරණ ස්ථානයේ ද යම් වෙනසක් වීමට ඉඩක් තිබෙනවා.

Ravindra Jadeja

33 හැවිරිදි Ravindra Jadeja නිමාවුණු විස්සයි විස්ස ලෝක කුසලානයට පසුව සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා ඉන්දියාව සමඟ එක්වන පළමු අවස්ථාව මෙයයි. ඔහු ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන්ම පසුවනවා.

Jadeja ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 55ක ඉනිම් 26ක දී ලකුණු 256ක් ලබාගෙන තිබෙන්නේ 113.77ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමිනුයි. ඊට අමතරව දකුණතින් පිට දඟපන්දු යවන ඔහු මේ දක්වා දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 46ක්.

Jasprit Bumrah

ඉන්දීය කණ්ඩායමේ උපනායකත්වය හිමි වී තිබෙන Bumrah මේ දක්වා ඉන්දියාව වෙනුවෙන් තරග 55කට සහභාගී වෙමින් කඩුලු 66ක් දවා ගන්නට සමත් වී තිබෙනවා. ඔහු ද නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයට පසුව ඉන්දීය සංචිතය සමඟ විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් එක්ව සිටින පළමු අවස්ථාව මෙයයි.

Bumrah සතු වේගය, සහ ඔහුගේ පන්දු සංකලනය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් හට යම් අභියෝගයක් ලබා දීමට ඔහු සමත් වෙනු නිසැකයි. එසේම ඔවුන්ගේ විස්සයි විස්ස රටාවේ සිටින ප්‍රධානතම පන්දු යවන්නෙකු වන Deepak Chahar මේ තරගාවලිය සඳහා ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ ආබාධයක් නිසයි. ඒ නිසා මේ තරගාවලිය පුරාවට Bumrah හට පන්දු යැවීමේ දී වැඩි වගකීමක් පැටවෙනු ඇත.

විස්සයි විස්ස තරගාවලිය සඳහා Virat Kohli සහ Rishabh Pant විවේක ගන්වා ඇති අතර Ravindra Jadeja කණ්ඩායමට යලි එක්ව තිබෙනවා. Virat Kohli සහ Rishabh Pant සහ KL Rahul තරගාවලියට සහභාගී නොවීම නිසා Sanju Samson සංචිතය සඳහා එක්කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ කාලසටහන

දිනය තරගය ක්‍රීඩාංගණය
පෙබරවාරි 24 පළමු විස්සයි විස්ස තරගය  Lucknow
පෙබරවාරි 26 දෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
පෙබරවාරි 27 තෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
මාර්තු 4 සිට 8 දක්වා පළමු ටෙස්ට් තරගය Mohali
මාර්තු 12 සිට 16 දක්වා දෙවැනි ටෙස්ට් තරගය (දිවා/රාත්‍රී) Bengaluru

 

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<