Home Sinhala Ishan සහ Shreyasගේ පිතිකරණය හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

Ishan සහ Shreyasගේ පිතිකරණය හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

898

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (24) Lucknow හිදී නිමා වුනා. එම තරගයෙන් ලකුණු 62ක දැවැන්ත ජයක් ලබා ගත් ඉන්දියාව 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර නිත්‍ය පිතිකරුවන් පස් දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක්, නිත්‍ය වේගපන්දු යවන්නන් දෙදෙනෙක් සහ නිත්‍ය දඟපන්දු යවන්නන් දෙදෙනෙක් සමඟ ශ්‍රී ලංකාව මේ තරගයට අවතීර්ණ වුනා.

වනිඳු හසරංග කොරෝනා හේතුවෙනුත්, මහීෂ් තීක්ෂණ සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා ආබාධ නිසාවෙනුත් අද තරගයට ක්‍රීඩා කළේ නැහැ,

ඉන්දියාව වෙනුවෙන් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Deepak Hooda අද ජාත්‍යන්තර වරම් දිනා ගන්නට සමත් වුනා. ඒ අනුව ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ විස්සයි විස්ස වරම් දිනා ගත් 97 වැනි ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

පළමු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ඉන්දියාව – Ishan Kishan, Rohit Sharma, Shreyas Iyer, Sanju Samson, Deepak Hooda, Venkatesh Iyer, Ravindra Jadeja, Harshal Patel, Bhuvneshwar Kumar, Jasprit Bumrah, Yuzvendra Chahal

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kamil Mishara, Charith Asalanka, Janith Liyanage, Dinesh Chandimal (wk), Dasun Shanaka (නායක), Chamika Karunaratne, Dushmantha Chameera, Jeffrey Vandersay, Praveen Jayawickrama, Lahiru Kumara

ඉන්දීය ඉනිම ආරම්හ කරමින් Ishan Kishan සහ Rohit Sharma පිටියට පිවිසි අතර පන්දුවාර 11කුත් පන්දු 5ක් (පන්දු 71) පුරා කඩුල්ල රැකගනිමින් සාර්ථකව ලකුණු 111ක දැවැන්ත ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට ඔවුන් දෙදෙනා සමත් වුනා.

එම සබඳතාවය බිඳ හෙළීමට ශ්‍රී ලංකාවට අවස්ථා කිහිපයක් ලැබුණු අතර 6 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී deep midwicket කලාපය වෙත ඇදී ආ උඩ පන්දුවක් ඉතාමත් අවාසනාවන්ත ලෙස ජනිත් ලියනගේ අතින් ගිලිහී යාම මේ තරගයේ තීරණාත්මක සාධකයක් බවට පත්වුනා.

එම අවස්ථාවේ දී යම් ආකාරයකින් Kishanව දවා ගැනීමට ශ්‍රී ලකාවට හැකි වූවා නම් ඔහුගේ ඉනිම ලකුණු 43කට නවතාලීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.

අවසානයේ දී ඔහු සිය විස්සයි විස්ස දිවියේ ලබා ගත් දෙවැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගනිමින් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ හොඳම ඉනිම බවට එය පරිවර්තනය කරගත්තේ ලකුණු 82ක් ලබා ගනිමිනුයි. ඔහුගේ එම ඉනිම සඳහා 4 පහර 10ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා.

ලකුණු 111 ආරම්භක සබඳතාවය බිඳ දමමින් ලහිරු කුමාර යොමු කළ වේගය අඩාල කළ පන්දුවක් හමුවේ පන්දු 32ක දී ලකුණු 44ක් ලබාගෙන සිටි නායක Rohitගේ ඉනිම නිමා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

ඉන්දීය ඉනිමේ පළමු පන්දුවාර දෙක සහ Rohit දැවී යාමට පසුව ක්‍රියාත්මක වුනු පන්දුවාර 3 තුල හැරෙන්නට අනෙක් සෑම අවස්ථාවක දී ම ඉන්දීය පිතිකරුවන් හොඳ අභියෝගයක් ශ්‍රී ලංකාවට ලබා දෙන්නට සමත් වුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම අර්ධ ශතක ලබාගෙන පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 199ක් වෙත යෑමට ඉන්දියාව සමත් වුනේ ලකුණු 200ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දෙමින්.

Shreyas Iyer සිය ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ ලබා ගත් සිව්වැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 28ක දී නොදැවී ලකුණු 57*ක් ලබා ගත් අතර ඔහුගේ එම ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.

ඉන්දියාව අවසන් පන්දුවාර 5 තුල කඩුල්ලක් පමණක් දැවී ලකුණු 69ක් ශ්‍රී ලංකාවෙන් උදුරා ගැනීමට සමත් වූ අතර ඉන්දීය ඉනිම පුරාවට නිලකුණු පන්දු 28ක් වාර්තා වුනු නමුත් ඔවුන්ගේ කඩුලු අතර දිවීම හොඳම මට්ටමක පැවතියා.

පැතුම් නිස්සංක සහ 20 හැවිරිදි කමිල් මිශාර ශ්‍රී ලංකා ඉනිම ආරම්හ කළ නමුත් නිස්සංක මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඔහුය දවා ගැනීමට Bhuvneshwar සමත් වුනා. අනතුරුව මිශාර, ජනිත්, චන්දිමාල් සහ නායක ශානකගේ කඩුලු එක පෙළට දැවී යාමත් සමඟම තරගයේ පීඩනය මුළුමනින්ම ශ්‍රී ලංකාව දෙසට පතිත වුනා.

පන්දුවාර 10කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 60ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් 6 සහ 7 වැනි කඩුලුවල දී පිළිවෙළින් ලකුණු 37ක සහ 40*ක සබඳතාව දෙකක් ගොඩනැංවීමට අසලංක, චාමික සහ චමීර සමත් වුනත්, එම ඉනිම් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

සිය ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ 3 වැනි අර්ධ ශතකය ලබා ගත් අසලංක පන්දු 47කට මුහුණදෙමින් නොදැවී ලකුණු 53*ක් ලබා ගත් අතර ඔහුගේ එම ඉනිම 4 පහර 5කින් වර්ණවත් වුනා.

ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වුනු චමීර 4 පහර 2ක් සහ 6 පහරක් එල්ල කරමින් පන්දු 14ක දී නොදැවී ලකුණු 24*ක් වාර්තා කළ අතර පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකාවට කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 137ක් පමණයි.

Rohit මේ තරගයේ දී ලබා ගත් ලකුණු 44ත් සමඟින් දැනට ලොව වැඩිම ලකුණු ලබා ගත් විස්සයි විස්ස පිතිකරුවා බවට පත්වුණු අතර කඩුලු 2ක් දවා ගත් Yuzvendra Chahal විස්සයි විස්ස තරග රටාව තුල ඉන්දියාව වෙනුවෙන් දැනට වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා බවට පත්වීමට සමත් වුනා.

තරගයේ වීරයා – Ishan Kishan

Result


Sri Lanka
137/6 (20)

India
199/2 (20)

Batsmen R B 4s 6s SR
Rohit Sharma b Lahiru Kumara 44 32 2 1 137.50
Ishan Kishan c Janith Liyanage  b Dasun Shanaka 89 56 7 2 158.93
Shreyas Iyer not out 57 28 0 0 203.57
Ravindra Jadedja not out 3 4 0 0 75.00


Extras 6 (b 0 , lb 0 , nb 0, w 6, pen 0)
Total 199/2 (20 Overs, RR: 9.95)
Bowling O M R W Econ
Dushmantha Chameera 4 0 42 0 10.50
Lahiru Kumara 4 0 43 1 10.75
Chamika Karunaratne 4 0 46 0 11.50
Praveen Jayawickrama 2 0 15 0 7.50
Jeffery Vandersay 4 0 34 0 8.50
Dasun Shanaka 2 0 19 1 9.50


Batsmen R B 4s 6s SR
Pathum Nissanka b 0 1 0 0 0.00
Kamil Mishara  c Rohit Sharma b Bhuvneshwar Kumar 13 12 0 0 108.33
Janith Liyanage  c Sanju Samson b Shreyas Iyer 11 17 0 0 64.71
Charith Asalanka not out 53 47 0 0 112.77
Dinesh Chandimal st Ishan Kishan b Ravindra Jadedja 10 9 0 0 111.11
Dasun Shanaka c Bhuvneshwar Kumar b Yuzvendra Chahal 3 6 0 0 50.00
Chamika Karunaratne c Ishan Kishan b Shreyas Iyer 21 14 0 0 150.00
Dushmantha Chameera not out 24 14 0 0 171.43


Extras 2 (b 0 , lb 0 , nb 0, w 2, pen 0)
Total 137/6 (20 Overs, RR: 6.85)
Bowling O M R W Econ
Bhuvneshwar Kumar 2 0 9 2 4.50
Jasprit Bumrah 3 0 19 0 6.33
Axar Patel 2 0 10 0 5.00
Yuzvendra Chahal 3 0 11 1 3.67
Shreyas Iyer 3 0 36 2 12.00
Ravindra Jadedja 4 0 28 1 7.00
Deepak Chahar 3 0 24 0 8.00



දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි විස්ස තරගය මේ මස 26 වැනිදා ධර්මසාලා හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<