මෙලොව හැර ගිය සොඳුරු ක්‍රිකට් තරුව – සර් Everton Weekes

878

ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිටි විශිෂ්ටතමයින් අතරින් කෙනෙක් ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සර් Everton Weekes වසර 95ක් ආයු වළඳා පසුගිය බදාදා (01) මෙලොව හැරදා යන්නට විය. 

ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසය තුළ පන්දුවට තදින්ම පහර දෙන පිතිකරුවන් අතරින් කෙනෙකු ලෙස සැලකෙන සර් Weekes සිය දිවිය පුරාවට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ක්‍රීඩාවේ පසුබිම වෙනස් කරන්නට සුවිශේෂී මෙහෙයක් සිදු කළ පුද්ගලයෙකි. එමෙන්ම එකල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවන් තිදෙනෙකුගෙන් සමන්විත වූ “The Three Ws” යන විරුදාවලිය යත් පිතිකරණ සුසංයෝගය සැකසුණේ ද Frank Worrell සහ Clyde Walcott සමඟ සර් Weekes එක්වීමෙනි. 

1925 පෙබරවාරි මස 26 වැනි දින Saint Michael, Barbados හිදී Weekes උපත ලබන්නේ දැඩි ආර්ථික අපහසුතාවලින් පීඩා විඳි පවුලකට දාව යි. Weekes හට ඔහුගේ Everton යන නාමය තැබීමේ දී සිය පියා විසින් එංගලන්තයේ ප්‍රමුඛ පෙළේ පාපන්දු සමාජයක් වන Everton පාපන්දු සමාජයේ නාමය ආභාසයට ගෙන ඇති අතර ඔහු උපත ලබා සුළු කාලයකින් ඔහුගේ පියා සිය රැකියාව උදෙසා Trinidad බලා පිටත්ව යාමෙන් අනතුරුව ඔහු නැවතත් පැමිණෙන්නේ වසර 11ක දීර්ඝ කාල සීමාවකින් පසුවයි. එම කාලය තුළ ඔහුවත්, ඔහුගේ සොහොයුරියවත් රැකබලා ගැනීම සිදු කරනු ලැබුවේ ඔහුගේ මව සහ නැන්දණිය විසිනි.   

කුඩා කළ St. Leonard’s පිරිමි පාසලේ අධ්‍යාපනය ලබන ඔහු අධ්‍යාපන කටයුතු සඳහා දැඩි උනන්දුවක් නොදක්වන අතර එහි දී ඔහු වැඩි අවධානයක් යොමුකරන්නේ ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා පිළිබඳව යි. ඒ අනුව ඔහුට කුඩා වයසක දීම සිය උපන් ගමේ ම තිබූ Pickwick ක්‍රිකට් සමාජයේ Kensington Oval ක්‍රීඩාංගණයේ ක්‍රීඩාංගණය සැකසීමේ කටයුතු වලට සහය වීමට අවස්ථාව හිමි වූ අතර තවත් අවස්ථාවල දී ඔහු එහි ආදේශක පන්දු රකින්නෙකු ලෙස ද කටයුතු කරන්නට හැකියාව ලැබුණි. 

කෙසේ නමුත් Pickwick ක්‍රිකට් සමාජය සඳහා එකල සුදු ජාතිකයින් පමණක් ඇතුළත් කරගැනීම හේතුවෙන් ඔහුට නිසි පරිදි එහි ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වූයේ නැත.

කෙසේ නමුත් වයස අවුරුදු 13 වන විට ඔහුට Barbados ක්‍රිකට් ලීගයේ ක්‍රීඩා කරනු ලබන Westshire ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වේ. ඊළඟ වසරේ දී පාසල් යාම නතර කර දමන ඔහු රැකියාවක් නොමැති වීම හේතුවෙන් ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාවල නිරත වෙමින් සිය දවස ගතකරන්නට විය. 

පසුව 1943 වසරේ දී ඔහු Barbados රෙජිමේන්තුවත් සමඟ හමුදා සේවයට එක්වන අතර එහි ලාන්ස් කෝප්‍රල්වරයෙක් ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 1947 වසරේ දී ඉන් ඔහුව නිදහස් කෙරෙන්නට විය. 

Barbados ක්‍රිකට් ලීගයේ දී Weekes දැක්වූ ඉහළ දක්‍ෂතා හරහා 1945 වසරේ දී 19 වැනි වියේ පසුවන තරුණයෙක් ලෙස සිය මංගල පළමු පෙළ තරගය ක්‍රීඩා කරන්නට ඔහුට අවස්ථාව හිමිවුනත්, Trinidad සහ Tobago කණ්ඩායමට එරෙහිව පැවති එම තරගයේ දී අවාසනාවන්ත ලෙස ලකුණු නොලබාම දැවී යන්නට ඔහුට සිදු විය. 

ඒ අනුව ඔහුගේ පළමු පෙළ තරග වාර 2 තුළම ඔහු ඉහළ දස්කම් දක්වන්නට අසමත් වුනත්, ඔහුගේ තෙවැනි පළමු පෙළ තරග වාරය වූ 1946/47 තරග වාරයේ දී සිය මංගල පළමු පෙළ ශතකය ද වාර්තා කරමින් කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ඔහු එහි දී 67.57ක ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද පවත්වා ගන්නට සමත් විය. 

ඊළඟ තරග වාරයේ දී පැවති Marylebone ක්‍රිකට් සමාජය (MCC) සමඟ සංචාරයක දී ද Weekes විසින් තවදුරටත් පිත්තෙන් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් වූයේ නොදැවී ලකුණු 118ක අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටුවේ ද අවධානය දිනා ගනිමිනි. 

ඒ අනුව 22 වැනි වියේ දී එංගලන්තයට එරෙහිව Kensington Oval ක්‍රීඩාංගණයේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට වරම් ලබන ඔහු තරගාවලියේ පළමු තරග 3 පුරාවටම අසාර්ථක වීම හේතුවෙන් එහි සිව්වැනි හා අවසාන ටෙස්ට් තරගය සඳහා කණ්ඩායමෙන් ඉවත් කෙරෙන්නට විය. 

කෙසේ නමුත් ඔවුන්ගේ ක්‍රීඩක George Headley අවසාන මොහොතේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට Weekes කණ්ඩායමට ඇතුළත් කෙරෙන අතර එහි දී ඔහුගේ වාසනාවකට මෙන් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් ඔහු ලකුණු 141ක් ලබා ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරනු ලැබුවේ ඉදිරියේ දී ක්‍රිකට් පිටියේ සිය අණසක පතුරුවා ගැනීමට නියමිත ප්‍රබල පිතිකරුවෙකුගේ පෙරනිමිති පහළ කරමිනි. 

අනතුරුව එළඹි ඉන්දියා සංචාරයේ Delhi නුවර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඔහු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු ඉන්දියාවේ දී වාර්තා කර ගත් පළමු ටෙස්ට් ශතකයට හිමිකම් කියමින් ලකුණු 128කුත්, Bombay හිදී පැවති දෙවන ටෙස්ට් තරගයේ දී ලකුණු 194කුත්, Calcutta හිදී පැවති තෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේ දී පිළිවෙළින් ලකුණු 162 සහ 101 බැගිනුත් වාර්තා කරගනිමින් ඉන්දියානුවන් හට පිතිකරණ පාඩමක් ලබා දුන්නේ ඊට පෙර එංගලන්තයට එරෙහිව වාර්තා කර ගත් ලකුණු 141 ද ඇතුළත්ව ඔහු එක දිගට ක්‍රීඩා කරනු ලැබූ ඉනිම් 5 දීම ශතක වාර්තා කරගනිමින් ටෙස්ට් තරගවල අඛණ්ඩ ඉනිම් 5ක දී අඛණ්ඩව ශතක වාර්තා කරගත් ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වෙමිනි. 

මෙහි විශේෂත්වය වන්නේ එම වාර්තාව වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු මේ වන තෙක්ම සම කිරීමට හෝ සමත්ව නොසිටීම යි. 

පසුව ඔහු අඛණ්ඩ ටෙස්ට් ඉනිම් 7ක දී නොකඩවා අර්ධ ශතක 7ක් ද වාර්තා කරගන්නට සමත් වූ අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ එය සිදු කළ පළමු ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසයට එක්වන්නට විය. එමෙන්ම ඔහු සිය 12 වැනි ටෙස්ට් ඉනිමේ දී ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකර යන්නට සමත් වූයේ එම සීමාව කරා ළඟා වූ වේගවත්ම ක්‍රීඩකයා ලෙස එංගලන්තයේ Herbert Sutcliffe තබා තිබූ වාර්තාව ද සම කරමිනි. 

අනතුරුව 1950 වසරේ දී පැවති එංගලන්ත සංචාරයේ දී ද විශිෂ්ට දක්‍ෂතා දැක්වූ ඔහු සිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එම තරගාවලියෙන් 3-1ක ජයග්‍රහණයක් හිමිකර දෙන්නට සුවිශේෂී දායකත්වයක් සැපයූ අතර ඉන් පසුව ද ඔහු දැක්වූ අඛණ්ඩ දක්‍ෂතා හේතුවෙන් 1951 වසරේ දී Wisden වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් ද ඔහු පිදුම් ලබන්නට විය. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තුළ Everton Weekes, Frank Worrell සහ Clyde Walcott ක්‍රීඩකයින් තිදෙනා අතර ඉතා සමීප සබඳතාවක් ගොඩනැඟෙන්නට වූ අතර ඔවුන් තිදෙනාම Barbados වල උපත ලබා 1948 වසරේ දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගන්නට සමත් වීම එහි දී කැපී පෙනෙන්නට විය. 

ඔවුන් තිදෙනා “The Three Ws” යන අනුවර්ත නාමයෙන් ප්‍රසිද්ධ වන්නට වූ අතර ඔවුන් එහි දී පිටියේ ගොඩනඟා ගත් සුසංයෝගය වසර ගණනාවක් පුරාවට ප්‍රතිවාදී පන්දු යවන්නන්ට ඉතා විශාල අභියෝගයක් වන්නට සමත් විය. 

“The Three Ws” – Frank Worrell, Everton Weekes, Clyde Walcott

ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 207 ඔහු විසින් 1952-53 තරග වාරයේ දී ඉන්දියාවට එරෙහිව Port of Spain හිදී වාර්තා කර ගනු ලැබූ අතර ඔහුගේ ක්‍රීඩා ශෛලිය හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ සර් Don Bradmanට ඔහුව සමාන කෙරෙන්නට ද විය. 

“ලකුණු වාර්තා කරනවා කියන්නේ පුරුද්දක්. ඉතින් ඒ පුරුද්දට හුරු වුනාට පස්සේ මොකටද ඒකෙන් විනෝදයක් ලබා ගන්නේ නැතුව? මොකද කවදා හරි දවසක් එනවා ලොකු කාලයක් ක්‍රීඩා කළාට පස්සේ ඔබට ඒ පුරුද්ද නැති වෙලා යන.”

ඔහුගේ වචනවලින්ම ඔහු පිතිකරණයේ යෙදීමට දැඩි කැමැත්තක් දැක්වූයේ ඒ අයුරෙනි. 

පිතිකරණයෙන් දැක්වූ විශිෂ්ට දක්‍ෂතාවලට අමතරව ඔහු ඉතා අගනා පන්දු රකින්නෙක් ලෙස ද නම් දරා සිටින අතර පසුකාලීනව ඔහු විසින් ‘Aspects of Fielding’ යනුවෙන් ග්‍රන්ථයක් ද රචනා කරනු ලැබීය. 

කෙසේ නමුත් කෙමෙන් කෙමෙන් ඇතිවූ ආබාධ තත්වයන් හේතුවෙන් ඔහුට 1958 වසරේ දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට විශ්‍රාම ලබා දෙන්නට සිදු වූ අතර ඒ වන විට ඔහු ටෙස්ට් තරග 48ක දී 58.61ක ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහ ශතක 15ක් ද සමඟින් සමස්ත ලකුණු 4455ක් රැස්කරගෙන සිටින්නට විය. අනතුරුව 1964 වසර දක්වා පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කරනු ලැබූ ඔහු එහි දී සිය අවසන් තරගය වූ 152 වැනි තරගයේ දී ලකුණු 12,000 සීමාව පසුකර යනු ලැබීය. 

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ඔහු කලක් සුහද තරග සඳහා ක්‍රීඩා කරන්නට වූ අතර අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස ද සාර්ථකත්වයට පත්වන්නට සමත් විය. එහි දී තරුණ ක්‍රීඩකයින් රැසකට ගුරුහරුකම් ලබා දෙමින් ඔවුන්ව ඉහළට ගෙන ඒමට නායකත්වය ලබා දුන් ඔහු 1979 ලෝක කුසලානය සඳහා එක්වූ කැනඩාවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ද කටයුතු කරනු ලැබීය. 

පසුව ඔහු ගුවන් විදුලි හා රූපවාහිනී ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් එහි දී ද කාගේත් ආදරය දිනා ගනිද්දී 1994 වසරේ දී ඔහුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තරග තීරකවරෙකු ලෙස පත්කරන්නට විය. එහි දී ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරග 4ක සහ එක්දින තරග 3ක තරග තීරකවරයා ලෙස කටයුතු කර ඇත. 

තවත් කියවන්න;

Weekes හට සිය ක්‍රිකට් දිවිය ආරම්භයේ දී, ක්‍රිකට් දිවිය පුරාවට මෙන්ම ඉන් අනතුරුවත් අවස්ථාවන් රැසක දී වර්ණවාදී සිදුවීම් රැසකට මුහුණ දෙන්නට සිදු වූ නමුත් ඉන් කිසිවකින් නොසැලුණු ඔහු තමන් ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙමින් මුළු ලෝකයේම ආදරය දිනා ගන්නට සමත් විය. 

ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ අනූපමේය මෙහෙය වෙනුවෙන් Weekesව ‘Order of the St Michael and St George’ සහ ‘Order of Barbados’ ගෞරව නාමවලින් පිදුම් ලැබූ අතර 1995 වසරේ දී ‘Order of the British Empire’ සම්මානයත් සමඟින් ඔහුට නයිට් පදවියක් ද පිරිනමනු ලබද්දී පසුව 2009 වසරේ දී ඔහුව ICCයේ ‘ICC Cricket Hall of Fame’ සඳහා ද හඳුන්වා දෙනු ලැබීය. 

පසුගිය වසරේ ජුනි මාසයේ දී හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර පසුව ඉන් සුවය ලැබුවත් පසුගිය බදාදා, එනම් ජූලි මස 01 වැනි දින මෙලොව හැරදා ගියේ ක්‍රිකට් ක්‍රීඩාවට සුවිසල් මෙහෙයක් ඉටු කරමින් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් හට මතකයන් රැසක් ඉතිරි කරමිනි. ඒ අනුව සර් Everton Weekes යන ඒ නාමය ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් තුළ සදා අමරණීය වනු ඇති බව නොඅනුමාන ය. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<