Chahar සහ Suryakumar ඉන්දු – ශ්‍රී ලංකා සටනින් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2022

2255

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Deepak Chahar සහ ඉන්දීය මැදපෙළ පිතිකරු Suryakumar Yadav හට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති නමුත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් Chahar සති 6ක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පසුගිය දා (20) පැවති තෙවැනි විස්සයි විස්ස තරගය අතරතුර පන්දු යවමින් සිටිය දී Chaharට මේ ආබාධයට මුහුණ දීමට සිදු වුනා.

එසේම පසුගිය දා බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ වීරයා සහ තෙවැනි තරගයේ වීරයා බවට පත්වුණු Suryakumarගේ පාදයේ ද ආබාධයක් (hairline fracture) නිසා ඔහුට ද ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත මේ විස්සයි විස්ස තරගාවලිය අහිමිව යන බව Cricbuzz වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

මේ වන විට Chahar ඉන්දීය කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්ව ඇති බව ද සඳහන් වන නමුත් බොහෝ දුරට මේ ක්‍රීඩකයින් සඳහා ආදේශ ක්‍රීඩකයින් යොදා නොගන්නා බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මේ අතර, කණ්ඩායම් දෙකම මේ වන විට Lucknow ක්‍රීඩාංගණයේ ඔවුන්ගේ මූලික පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඉන්දීය ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතයි.

ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය: දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, ජනිත් ලියනගේ, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිල් මිෂාර, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු, අශේන් ඩැනියල්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ කාලසටහන

දිනය තරගය ක්‍රීඩාංගණය
පෙබරවාරි 24 පළමු විස්සයි විස්ස තරගය  Lucknow
පෙබරවාරි 26 දෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
පෙබරවාරි 27 තෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
මාර්තු 4 සිට 8 දක්වා පළමු ටෙස්ට් තරගය Mohali
මාර්තු 12 සිට 16 දක්වා දෙවැනි ටෙස්ට් තරගය (දිවා/රාත්‍රී) Bengaluru

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<