හසරංගගේ විවේකය දීර්ඝ වන ලකුණු

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1209

ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලියේ ඉතිරි තරග සියල්ලම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමට වැඩි ඉඩක් තිබෙන බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

හසරංග දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ දී පාදයක ආබාධයකට (groin strain) මුහුණ දුන් අතර එය මෙතෙක් සම්පූර්ණයෙන් සුව වී නොමැති වීම මෙයට හේතුවයි.

විශේෂයෙන්, මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තවත් මාස කිහිපයක් පමණක් ඉතිරිව ඇති බැවින් හසරංග මෙම තරගාවලිය සඳහා යළි ක්‍රීඩා කරවීම තුළින් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අවදානමකට ලක් කිරීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටියා.

ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් දිගින් දිගටම විශේෂ අවධානයකින් පසුවන නමුත්, ඔහුට තවත් කොපමණ කාලයක් විවේක ගත යුතු දැයි නිශ්චිතව නිගමනය කර නොමැති බවයි වාර්තා වන්නේ.

හසරංගගේ මේ ආබාධය හේතුවෙන් ඔහුට දෙරට අතර පසුගිය දා පැවති දෙවැනි එක්දින තරගය ද ක්‍රීඩා කිරීමට හැකි නොවූ නමුත් එම තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

හසරංග පළමු එක්දින තරගයේ දී පන්දු 19කින් වේගවත් ලකුණු 37ක් වාර්තා කිරීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී ලකුණු 58කට කඩුලු 4ක් දවා ගැනීමට ද ඔහු සමත් වුනා.

ඊට අමතරව ඕස්ට්‍රේලියානු සුපිරි මැදපෙළ පිතිකරු Steve Smith හට ද දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය අහිමිව යාමට වැඩි ඉඩක් තිබෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා. ඒ ඔහුගේ වම් පාදයේ ඉහළ කොටසේ (left quad) ඇතිව තිබෙන මස්පිඩු ඇදීමක් නිසයි.

මේ වන විට කණ්ඩායම් දෙකම 1-1ක් ලෙස තරගාවලියේ සම මට්ටමේ පසුවෙන අතර දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය හෙට (19) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<