වනිඳු නැවතත් මුල් තුන් දෙනා අතරට

MRF Tyers ICC Rankings

426

ICC විසින් ඊයේ (05) දිනයේ දී යාවත්කාලීන කරන ලද ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Rankings) හි විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය තෙක් නැවත ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටිනවා.

මෙවර ICC ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහය තුල පැහැදිලි වෙනසක් ඇති වී ඇත්තේ විස්සයි විස්ස තරග රටාවේ පමණක් වන අතර, 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට දින ලං වන නිසා අනෙකුත් තරග රටාවන්ට අදාල තරග ප්‍රමාණය අවම වීම මෙයට හේතුව ලෙස සඳහන් කළ හැකිය.

විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ සුපුරුදු පරිදි Josh Hazlewood විසින් රැඳී සිටින අතර, මෑතක දී ඉන්දියාවේ සහ පාකිස්තානයේ පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලි හේතුවෙන් Hazlewood පිටුපසින් සිටි ක්‍රීඩකයින්ගේ ස්ථානවල යම් යම් වෙනස් කම් සිදු වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු දඟපන්දු යවන Tabraiz Shamsi ස්ථාන දෙකකින් පහළ බසිද්දී එහි වාසිය සමඟින් එක් ස්ථානය බැගින් පෙරට ඒමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සමඟින් ඕස්ට්‍රේලියාවේ Adam Zampa සමත් වී තිබෙනවා.

ඒ අනුව මීට පෙර ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි තැන රැඳී සිටි වනිඳු තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. එමෙන්ම කිසිදු වෙනස් වීමකට භාජනය නොවූ විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල ද සිව්වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට වනිඳු සමත් වී සිටිනවා. Tabraiz Shamsi විස්සයි විස්ස පන්දු යවන්නන් අතර පස්වැනි ස්ථානයට පසු බසිද්දී, Zampa එහි සිව්වැනි ස්ථානය තෙක් පැමිණීමට සමත් වී තිබෙනවා.

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ද සිය හත්වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට සමත්ව සිටිනවා. මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහයේ රැඳී ඇති එකම වේගපන්දු යවන්නා Josh Hazlewood පමණක් වීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු සිදු වීමක්.

නිමා වුනු එංගලන්ත, පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියෙන් පසුව පාකිස්තානයේ Haris Rauf සහ Shadab Khan පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් 15 සහ 16 වැනි ස්ථාන තෙක් ඉදිරියට ඒමට ද සමත් වී තිබෙනවා.

මේ අතර ඉන්දීය සුපිරි පිතිකරු Suryakumar Yadavට හිමිව තිබූ විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම් හී ප්‍රථම ස්ථානය ඔහුට අහිමි වී ගොස් තිබෙනවා.

පාකිස්තාන ආරම්භක පිතිකරු Mohammed Rizwan විසින් නැවතත් එහි ප්‍රථම ස්ථානයට පිවිසෙද්දී, ලකුණු 16ක (Mohammed Rizwan – 854, Suryakumar Yadav – 838) සුළු වෙනසක් සහිතව Suryakumar Yadav දෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා.

පසුගිය දා නිමාව දුටු ඕස්ට්‍රේලියා, ඉන්දීය විස්සයි විස්ස තරගාවලියේ ද අර්ධ ශතක දෙක සමඟින් ලකුණු 119ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට 32 හැවිරිදි Suryakumar විසින් සමත් වුනා. ඔහුගේ මෙම අතිවිශිෂ්ට පිතිකරණ රටාවත් සමඟින් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ද ඔහුගෙන් ඉහල දස්කම් දැක ගැනීමට ද හැකි වනු ඇත.

එමෙන්ම නැවත පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණි Mohammed Rizwan විසින් පසුගිය එංගලන්ත තරගාවලිය නිමා කරේ ලකුණු 316 සමඟින් තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා ලෙසයි.

මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ඔහු තරගාවලියේ හයවැනි තරගයෙන් විවේක ගන්වා තිබූ නිසා ඔහුට Suryakumar සමඟින් ඇති ලකුණු පරතරය තවත් වැඩි කර ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගිය බවයි.

විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහය තුල සිදු වී ඇති එකම වෙනස එය වන අතර, මීට අමතරව පසුගිය ඉන්දීය – දකුණු අප්‍රිකා විස්සයි විස්ස තරගාවලියේ දී දැක්වූ විශිෂ්ට පිතිකරණය නිසාවෙන් Quinton de Kock ද ස්ථාන හයකින් ඉදිරියට එමින් දොළොස් වැනි ස්ථානය තෙක් ඉදිරියට ඒමට සමත් වී තිබෙනවා.

මෙම මස 16 වැනිදා ආරම්භ වීමට නියමිත 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා අනුව මෙම ශ්‍රේණිගත කිරීම්වල පැහැදිලි වෙනසක් වෙතැයි අනුමාන කළ හැකි අතර, ඒ පිළිබඳ මෙන්ම අනෙකුත් සියලු උණුසුම් ක්‍රීඩා තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරෙනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<