වෙලාවට එන්න බැහැ කියූ නිසා Hetmyerට ලෝක කුසලානය අහිමි වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1238

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු Shimron Hetmyer විසින් තමන්ට නියමිත දිනයේ ඕස්ට්‍රේලියාව බලා පිටත් වන ගුවන් යානය වෙත පැමිණිය නොහැකි වන බව ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දන්වා සිටි නිසා ඔහු වෙනුවට Shamarh Brooks ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා.

Hetmyer වෙනුවෙන් නැවත සැලසුම් කර තිබූ ගුවන් ගමනට ද (Rescheduled flight) එක් වීමට නොහැකි වූ නිසා ඔහුව 2022 ලෝක කුසලානයට යන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ඉවත් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය (CWI) තීරණය කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා (1) ඕස්ට්‍රේලියාව බලා පිටත් වීමට නියමිත ගුවන් ගමන යෙදී තිබුණ ද, Hetmyerගේ විශේෂ ඉල්ලීමක් නිසා එය ඊයේ (3) දිනයට කල් දමා තිබුණා. නමුත් මෙම 25 වියැති ක්‍රීඩකයා පසුව දැනුම් දුන්නේ තමන්ගේ පවුල සම්බන්ධ හේතුවක් නිසාවෙන් එම දිනයේ දී ද ගුවන් ගමනට එක් විය නොහැකි වන බවයි.

ලෝක කුසලානය වෙනුවෙන් තවත් සීමිත දින ගණනක් ඉතිරිව පවතින නිසාවෙනුත්, ඊට පෙර ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ඔක්තෝබර් 5 සිට ඇරඹෙන නිසාවෙනුත්, Hetmyer වෙනුවට Shamarh Brooks බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට කැඳවීමට CWI විසින් තීරණය කර තිබෙනවා.

මේ වන විට 34 වැනි වියේ පසුවන Brooks පසුගිය දා නිමාව දුටු CPL තරගාවලියේ දී Jamaica Tallawahs කණ්ඩායමට කුසලානය දිනා ගැනීම වෙනුවෙන් පිත්තෙන් විශාල දායකත්වයක් සැපයූවා.

එම තරගාවලියේ Eliminator සහ Second qualifier තරග දෙකේ දී පිළිවලින් ලකුණු 47ක් සහ 109*ක් රැස් කළ Brooks අවසන් මහා තරගයේ දී ද නැවතත් ලකුණු  47ක් රැස් කිරීමට සමත්කම් දැක්වූවා.

Shimronගේ පවුල සම්බන්ධ හේතූන් නිසා අපි ඔහුගේ ගුවන් ගමන සෙනසුරාදා සිට සඳුදා තෙක් කල් දාලා දුන්නා, නමුත් තව දුරටත් ඔහු ඕස්ට්‍රේලියාවට යාමට ප්‍රමාද වෙනවා නම් සහ ගැටලු තියේ නම් අපිට ඔහු වෙනුවට වෙන ක්‍රීඩකයෙක් සංචිතයට ආදේශ කරන්න වෙන බව Shimronට පැහැදිලි කරලා දුන්නා. මේ වගේ වැදගත් ඉසව්වක් අත ළඟ තියාගෙන තවදුරටත් කණ්ඩායම අපහසුතාවයට පත් කරන්න අපිට බැහැ.

Shamarh කියන්නේ පසුගිය කාලය පුරාවටම අපේ විස්සයි විස්ස සංචිතවල රැඳිලා හිටපු ක්‍රීඩකයෙක්, ඒ වගේම CPL තරගාවලියේ අවසාන භාගයේ හොඳින්ම ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ඔහු ඉතාම ඉක්මනින් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙලා යාවී, ඔහුට වගේම අපේ කණ්ඩායමටත් මෙම තරගාවලිය වෙනුවෙන් මම සුබ ප්‍රාර්ථනා එකතු කරන්න කැමතියි.” යනුවෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් අධ්‍යක්ෂක Jimmy Adams විසින් සිය අදහස් ප්‍රකාශ කර සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත (ඔක්තෝබර් 5 සහ 7) අතර ඉන්පසුව ලෝක කුසලානයේ මූලික වටයේ දී ස්කොට්ලන්තය, සිම්බාබ්වේ සහ අයර්ලන්ත කණ්ඩායම් මුණ ගැසෙනු ඇත.

දිනෙන් දින අලුත් වන විස්සයි විස්ස ලෝක කුසලානයේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<