VVS Laxmanට විශේෂ වගකීමක්

ඉන්දීය කණ්ඩායමේ අයර්ලන්ත සංචාරය 2023

1271

මේ දිනවල පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් පසුව ඉන්දීය කණ්ඩායම අයර්ලන්තයේ සංචාරයකට එක් වීමට නියමිතයි. 

ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගය ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වීමෙන් පසු ඉන්දියාව සහභාගී වන පළමු තරගාවලිය වන කොදෙව් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 141කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වුනා.  

මෙම ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන Rahul Dravid ඇතුළු පුහුණුකාර මණ්ඩලය අයර්ලන්ත තරගාවලියේ දී විවේක ගැන්වීමට තීරණය කර තිබෙන නිසා ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානී VVS Laxman ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.  

ඔහුට අමතරව Sitanshu Kotak සහ  Hrishikesh Kanitkar යන දෙදෙනාගෙන් අයෙකු පිතිකරණ පුහුණුකරු ලෙසත්, Troy Cooley සහ  Sairaj Bahutuleගෙන් දෙදෙනෙකු පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් පත් කිරීමට නියමිතයි.  

VVS Laxman පසුගිය වසරේ ඉන්දීය කණ්ඩායම අයර්ලන්ත සංචාරයට එක් වූ අවස්ථාවේ ද කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර මෙම තරගාවලියේ දී ඉන්දීය නායකත්වය (විස්සයි විස්ස) Hardik Pandyaට හිමිවන බව වාර්තා වෙනවා.  

දිගු කාලයක් තිස්සේ ආබාධයකින් පීඩා විඳින ඉන්දීය ක්‍රීඩක Jasprit Bumrah ද මෙම තරගාවලියේ දී නැවතත් පිටියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙනවා.  

ඔහු පසුගිය දින කිහිපයේ දැල් තුළ පුහුණුවීම් සිදු කළ තිබෙන අතර එහි දී ඔහු සම්පූර්ණ යෝග්‍යතාවයෙන් සිටි බව සඳහන්. එමෙන්ම ඔහු ඉදිරියේ දී පුහුණු තරග කිහිපයක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.  

ඔහුට අමතරව සැත්කමට භාජනය කළ Prasidh Krishna ද නැවතත් සිය පුහුණුවීම් අරඹා තිබෙනවා.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

Hindustan Times ඇසුරිනි 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<