2021 IPL ඉන්දියාවේ දී; ක්‍රීඩකයන්ට එන්නත් ලබා දෙන්නත් සැලසුම්

229

2021 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කෙසේ හෝ ඉන්දියාවේ දී ම පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තිබෙනවා. 

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායක කමිටුවේ සාමාජික Arun Singh Dhumal මේ බව මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා. එහි දී ඔහු පවසා ඇත්තේ තරගාවලිය ඉන්දීය ක්‍රීඩාංගණ වල පැවැත්වීමට හැකි වනු ඇති බවට ඉන්දීය ක්‍රිකට් ආයතනය විශ්වාස කරන බවයි.

පසුගිය වසරේ පෙබරවාරි – මාර්තු කාලය තුල කොරෝනා වයිරසයේ පැතිර යාම නිසා ඉන්දියාව සම්පූර්ණ වසාදැමීමකට යොමු වූ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද කල්දැමීමට සිදු වුනා. කෙසේ වෙතත් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුව තීරණය කළා. 

“අපි දැනට සැලසුම් කරලා තියෙන්නේ තරගාවලිය ඉන්දියාවේ පවත්වන්න. අපි හිතනවා ඒක කරන්න පුළුවන් කියලා. මේ වෙලාවේ දී අපි වෙනත් රටක් විකල්පයක් විදිහට තියා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වෙලාවේ දී ඉන්දියාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වඩා ආරක්‍ෂිතයි කියලා අපි හිතනවා” Dhumal පවසා සිටියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වන විට දරුණු කොරෝනා අර්බුදයකට මුහුණ දී සිටින අතර එරට සතියකට වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 770 සිට 4000 දක්වා වැඩි වී තිබෙනවා. ඉන්දියාවේ සතියකට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 90000 ඉක්මවා තිබූ අතර වර්තමානය වන විට 14000 දක්වා අඩු වී තිබීම විශේෂත්වයක්.

ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය වසරේ දී අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළා. ඒ ජාත්‍යන්තර තරගාවලි ඉන්දියාව තුල පැවැත්වීමට නොහැකි නම් ඒවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පවත්වන්න එකඟ වෙමින්. මේ ගිවිසුමට එංගලන්ත ටෙස්ට් තරගාවලියත් ඇතුළත් වුනා. කෙසේ වෙතත් ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගාවලිය එළඹෙන සතියේ දී ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්දීය ප්‍රාන්ත තරගාවලිය Syed Mushtaq Ali කුසලාන තරගාවලියත් සමඟින් ආරම්භ වුනා. මේ තරගාවලියේ අවසන් තරගය එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය ද ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල පැවැත්වීම විශේෂත්වයක්. මෙවන් වටපිටාවක් තුල දීර්ඝ කාලයක් රැඳී සිටීම ක්‍රීඩකයන්ට මෙන්ම නිලධාරීන්ට ද අසීරු කටයුත්තක් බව Dhumal පවසා තිබුණා.

“අපි දන්නවා ඒක ඉතාමත් අමාරු කටයුත්තක් කියලා. ඒත් ඒක තමයි එකම විකල්පය අපිට තරගාවලිය පවත්වා ගෙන යන්න. අපි මේ ගැන රජය එක්ක කතා කළා. ක්‍රීඩකයන්ට කොරෝනා එන්නත ලබා දෙන්න පුළුවන් වටපිටාව අපි සකස් කරමින් ඉන්නවා. මේ වෙලාවේ රජයේ මූලිකත්වය හිමි වෙලා තියෙන්නේ සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙළ පුද්ගලයන්ට. ඊට පස්සේ මේ රෝගයෙන් වැඩිම අවදානමක් තියෙන පුද්ගලයන්ට මේ එන්නත ලබා දෙන්න සිදු වෙනවා. අපි රජය එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා ක්‍රීඩකයන්ට හැකි ඉක්මනින් එන්නත ලබා දෙන්න. ” 

ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වය තහනම් කර ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ප්‍රේක්ෂක සහභාගිත්වය මෙතෙක් තහවුරු කර නොමැත.

“අපි ඒ ගැන අවධානය යොමු කරලා තියෙන්නේ. අපිටත් ඕනේ ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණවලට ගෙන්න ගන්න. ඒත් මේ තත්ත්වය එක්ක මධ්‍යම රජය ඒකට අවසර දෙන්නේ නැහැ. අපිට 100%ක් ප්‍රේක්ෂකයන් සහභාගී කරගන්න බැරි වෙයි. ඒත් අපි උත්සාහ කරනවා අඩුම තරමේ ක්‍රීඩාංගණවල ධාරිතාවයෙන් 20% – 30% අතර ප්‍රමාණයක් සහභාගී කර ගන්න.” 

ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ වන විට කාන්තා ද්වීපාර්ශික තරගාවලි දෙකක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය අතර සාකච්ඡා සිදු කරමින් පවතී. කෙසේ වෙතත් එම රටවල්හි සෞඛ්‍ය අවදානම සහ සෙසු නීති හේතුවෙන් තරගාවලි පැවැත්වීමට හැකි වේ දැයි තවමත් තහවුරු කළ නොහැකි බව Dhumal පවසා තිබුණා.

“අපි කාන්තා කණ්ඩායම සඳහා තරග පවත්වන්න දැඩි උත්සාහයක් ගනිමින් ඉන්නවා. ද්විපාර්ශික තරගාවලි කිහිපයක් ඒකට ඇතුළත් වෙනවා. එහෙත් ඒ ඒ රටවල්වල කොරෝනා වයිරස තත්ත්වය නිසා මේ තරගාවලි පිළිබඳව මෙතෙක් තහවුරු කරන්න හැකියාවක් නැහැ. කෙසේ වෙතත්  අපිට ලැබෙන පළවෙනි අවස්ථාවෙන්ම තරගාවලියක් සඳහා සහභාගි වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. “ 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සිදු කරන ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන පෙබරවාරි 18 වැනිදා පැවැත්වීමට නියමිතයි. තරග 60කින් යුත් 14 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙම වසරේ අප්‍රේල් මස 11 වැනිදා සිට ජුනි මස 6 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<