මෙවර IPL සත්කාරකත්වය තාමත් ගැටලුවක්

237

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්නාම සත්කාරකත්වය vivo ආයතනයට හිමිවීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය අද (14) වාර්තා කළා. 

එම ආයතනය තවමත් නිල වශයෙන් සත්කාරකත්වයෙන් ඉවත්ව නොමැති බවත්, සන්නාම සත්කාරකත්වය පිළිබඳව අවසන් තීරණය ඉදිරි දින කිහිපය තුල දී ගැනීමට නියමිතව ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට අදාළ ක්‍රීඩක ලැයිස්තුව පසුගිය සතියේ දී නිකුත් කළා. එහි දී සන්නාම සත්කාරකත්වය vivo ආයතනයට හිමිව තිබීම විශේෂත්වයක්.

මේ පිළිබඳව වාර්තා කළ cricbuzz වෙබ් අඩවිය පවසා සිටියේ vivo ආයතනය අවම වශයෙන් ක්‍රීඩක වෙන්දේසිය අවසන් වන තුරු සන්නාම සත්කාරක ලෙස කටයුතු කරනු ඇති බවයි. 

කෙසේ වෙතත් ක්‍රීඩක නම් ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමේ දී vivo ආයතනය සත්කාරකත්වය දරන බව ප්‍රකාශයට පත්කිරීම තාවකාලික තීරණයක් බවත් එම වෙබ් අඩවිය වාර්තා කළා. 

තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව අවසන් තීරණය ගැනීම සඳහා vivo ආයතනය සහ ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් ඔවුන් වාර්තා කළා. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස තාවකාලිකව සත්කාරකත්වය එම ආයතනයට පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

“අපිට ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නා ඔවුන්ගේ පෙර පැවති ගිවිසුම්වලට අනුව ක්‍රීඩක වෙන්දේසිය දක්වා vivo ආයතනය සත්කාරකත්වය සපයන බව. මීට කලින් තිබුණ ගිවිසුම දෙසැම්බර් 31 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවන්න ඔවුන් මීට පෙර තීරණය කළා. ඒ නිසා ජනවාරි 1 වැනිදා ඉඳන් ඒ ගිවිසුම නැවත ක්‍රියාත්මක වෙනවා. ආයතනය සාකච්ඡා කරලා අවසන් තීරණය ගන්නා තුරු vivo සන්නාමය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පවතිනවා” ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් කළමනාකරුවෙකු පවසා තිබුණා. 

තවත් ක්‍රිකට් පුවත්:

 

“ඉන්දීය ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ගිවිසුමේ කොන්දේසිවලට අනුව තමයි කටයුතු කරන්නේ. ඉන්දීය ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ තීරණය සහ ක්‍රියාමාර්ග පැහැදිලිව පෙන්වලා තියනවා. Vivo ආයතනය තමයි අවසන් තීරණය ගන්න ඕනේ. ඔවුන් තවදුරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්ක කටයුතු කරනවා ද කියන එක අනුව ඔවුන්ගේ ගෙවීම් තීරණය වේවි.” 

Vivo ආයතනය ඉන්දීය ප්‍රිමියර් ලීග් අනුග්‍රාහක අයිතිවාසිකම් සඳහා තවත් පාර්ශවකරුවෙක් සම්බන්ධ කරගැනීමට පසුගිය දා තීරණය කර තිබුණා. ඒ සඳහා එහි මාධ්‍ය ආයතනය Group M ආයතනය එම කාර්‍යය සඳහා පාර්ශවකරුවන් සමඟින් සාකච්ඡා කරමින් සිටිනවා.

Vivo ගිවිසුම අනුව සත්කාරකත්වය දරන පාර්ශව විසින් එක් තරග වාරයක් සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනයට ඉන්දීය රුපියල් කෝටි 440ක් ගෙවිය යුතුය. Vivo හි තීරණය අනුව ඔවුන් සම්බන්ධ කරගන්නා නව පාර්ශවය ඊට වඩා අඩු මුදලක් ලබා දිය යුතුය.

පසුගිය වසරේ දී සිදු වූ ඉන්දීය චීන දේශ සීමා ගැටුමක් නිසා චීන ආයතනයක් වන vivo ආයතනයේ සන්නාම ගිවිසුම තාවකාලිකව අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළා. ඒ අනුව Dream 11 ආයතනය පසුගිය වසරේ තරගාවලිය සඳහා සන්නාම සත්කාරකත්වය සැපයුවා. කෙසේ වෙතත් ඉන්දීය fantasy games ආයතනයක් වන Dream 11 ආයතනය මෙවර තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීමට අදහස් නොකරන බව Cricbuzz වෙබ් අඩවිය වාර්තා කළා.

මේ අතර පසුගිය දා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා සිටියේ තරගාවලිය සඳහා සහභාගී වන සියලු කණ්ඩායම් ඔවුන්ට ක්‍රීඩකයන් මිල දී ගැනීමට අවසර ලබා දී ඇති ඉන්දීය රුපියල් කෝටි 85ක ප්‍රමාණයෙන් අවම වශයෙන් 75%ක් ක්‍රීඩක වෙන්දේසියේ දී යොදාගත යුතු බවයි.

ඒ අනුව කණ්ඩායම් අවම වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 63.75ක් යොදා ගත යුතු අතර යම් හෙයකින් කණ්ඩායමක් එයට අඩුවෙන් යොදාගතහොත් සෙසු මුදල් ප්‍රමාණය ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත පවරා ගැනීමටත් තීරණය කර තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක් එක් කණ්ඩායම්වලට ක්‍රීඩකයන් 18ත් 25ත් අතර සංඛ්‍යාවකින් යුත් සංචිතයක් සහභාගී කරගැනීමට අවසර ලබා දී තිබෙනවා. එයට විදෙස් ක්‍රීඩකයන් 8 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට අවසර හිමිවන විදෙස් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවක් ඉදිරි දින කීපය තුල නිකුත් කිරීමට නියමිතයි. 

තරගාවලිය එළඹෙන අප්‍රේල් මස 9 හෝ 10 ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

cricbuzz වෙබ් අඩවිය ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<