කොදෙව්වෝ වාර්තා පොත් අලුත් කරති!

194

අයර්ලන්තයට එරෙහිව ලකුණු 196ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (05) සමත් විය.

මෙහි දී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට කොදෙව් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ ශායි හෝප් හා ජෝන් කැම්බල් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 365ක් ලබා ගැනීමත් සමඟිනි.

>> මෝර්ගන් පාකිස්තානය සසල කරවයි <<

අයර්ලන්තය, බංගලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක අයර්ලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (5) අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී ආරම්භ විය.

අයර්ලන්තය මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් නොලැබූ අතර ඔවුන් මෙම තරගාවලියට සහභාගි වූයේ එම තීරණයේ නිරවද්‍යතාව අභියෝගයට ලක් කිරීමේ අරමුණිනි. අනෙක් අන්තයෙන් කොදෙව්වන් වෙනුවෙන් සිය මූලික ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයින් 8 දෙනෙකු පමණක් මෙම තරගාවලිය සඳහා සහභාගි කර වූයේ ඔවුන්ගේ සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙක් තවමත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරන බැවිනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ අයර්ලන්ත නායක විලියම් පෝටර්ෆීල්ඩ් පන්දුවට පහර දීමේ අවස්ථාව කොදෙව්වන් හට ලබා දුන්නේය.

එම අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කඩුලු රකින ක්‍රීඩක ශායි හෝප් හා ජෝන් කැම්බල්, අයර්ලන්ත පන්දු යවන්නන් තඹ දොයිතුවකට මායිම් නොකරමින් පිටිය පුරා සිය අණසක පැතිර වූයේ කොදෙව්වන්ටම ආවේණික දැවැන්ත පිති ප්‍රහාරයන් දියත් කරමිනි.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 365ක් එක් කළේ පළමු කඩුල්ල වෙනුවෙන් වූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගනිමිනි. ඒ 2018 වසරේ දී පාකිස්තානයේ ඉමාම් උල් හක් හා ෆකාර් සමාන් සිම්බාබ්වේ දේශයට එරෙහිව වාර්තා කළ ලකුණු 304ක වාර්තාව බිඳ දමමිනි.

මෙය ජාත්යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වන අතර එය දෙවෙනි වන්නේ ක්‍රිස් ගේල් හා මාර්ලන් සැමුවෙල්ස් 2015 දී සිම්බාබ්වේ දේශයට එරෙහිවම වාර්තා කළ ලකුණු 372ට පමණි.

>> බිලියන 1.37ක සිහින සමඟ සෙල්ලම් කරන ඉන්දියාව <<

කොදෙව් ඉනිමේ 48 වැනි පන්දු වාරයේ දී ජෝන් කැම්බල් ලකුණු 179කට දැවී ගියේය. පන්දු 137කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හතරේ පහර 15කින් හා හයේ පහර 6කින් වර්ණවත් විය. මෙය ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර ශතකය යි. කැම්බල් ලෝක කුසලාන සංචිතයට පවා ඇතුළත් වී නොමැති ක්‍රීඩකයෙකු වීම මෙහි දී කැපී පෙනුණු කාරණයක් විය.

සිය පස්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය ලෙස පන්දු 152ක දී ලකුණු 170ක් ලබා සිටි ශායි හෝප් එම පන්දු වාරයේ දී ම දැවී ගිය අතර ඔහුගේ ඉනිමට ද හතරේ පහර 22ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය. හෝප්ගේ මෙම ඉනිම, ලෝක කුසලාන කණ්ඩායමේ ඔහුගේ ස්ථානය තහවුරු කර ගැනීමට උපකාරී වනු ඇත.

පන්දුවාර 50 අවසානයේ දී කොදෙව් ඉනිම දැක්වූයේ කඩුලු 3කට ලකුණු 381ක් ලෙසිනි. අයර්ලන්තය වෙනුවෙන් යම් තරමකට හෝ සාර්ථක වූ පන්දු යවන්නා වූ ජෝන් මැකාති ලකුණු 76කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

ලකුණු 382ක දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි අයර්ලන්ත පිතිකරුවන්ට සාර්ථක වීමට කොදෙව් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. ඒ ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 21ක් තුළ දවා ගැනීමට කොදෙව් වේගපන්දු යවන්නන් සමත් වීමත් සමඟිනි.

පාකිස්තානයේ සුපිරි වේගයේ අනාගතය

එක්දින පිටිය වසර ගණනාවක් මුළුල්ලේ සිටම …….

ඉන් අනතුරුව කෙවින් ඕබ්‍රයින්, ඇන්ඩෲ බැල්බර්නි හා කඩුලු රකින ක්‍රීඩක ගැරී විල්සන් හා එක්ව ඉනිමට යම් ස්ථාවරත්වක් ගෙන දීමට උත්සහ කළ ද, එය ද සාර්ථක නොවී ය. ෂැනොන් ගේබ්‍රියල්ගේ පන්දුවක් හිසේ වැදීම නිසා ඇන්ඩෲ බැල්බර්නි පිටියෙන් තාවකාලිකව ඉවත් වූ අතර ඔහු නැවත පැමිණි පසුව ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ගේබ්‍රියල් ඉඩ ලබා දුන්නේ නැත.

අයර්ලන්ත ඉනිමේ එකම සාර්ථක පිතිකරුවා වූ කෙවින් ඕබ්‍රයින්, පන්දු 77ක දී ලකුණු 68ක් වාර්තා කළ අතර ඊට හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් අන්තර්ගත විය.

අවසානයේ දී පන්දුවාර 34යි පන්දු 4ක් තුළ දී අයර්ලන්ත ඉනිම ලකුණු 185කට සීමා කරමින් කොදෙව්වෝ ලකුණු 196ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගන්නා ලදි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ඈෂ්ලි නර්ස් කඩුලු 4ක්, ෂැනොන් ගේබ්‍රියල් කඩුලු 3ක් හා කීමා රෝච් කඩුලු 2ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තරගයේ වීරයා – ජෝන් කැම්බල්

බටහිර ඉන්දීය කොදෙව් ඉනිම – 381/3 (50): ජෝන් කැම්බල් 179 (137), ශායි හෝප් 170 (152), ජෝන් මැකාති 2/76

අයර්ලන්ත ඉනිම – 185/10: කෙවින් ඕබ්‍රයින් 68 (77), ගැරී විල්සන් 30 (42), ඇන්ඩෲ බැල්බර්නි 29 (35), ඈෂ්ලි නර්ස් 4/51, ෂැනොන් ගේබ්‍රියල් 3/44, කීමා රෝච් 2/28

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<