ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් සටනේ වැඩි බර කා හට ද?

703

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාසයකට ආසන්න කාලයක් පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (12) ගාල්ල ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා.

ටෙස්ට් තරග දෙකකින්, එක්දින ක්‍රිකට් තරග 5කින් හා එක් විස්සයි විස්ස ක්‍රිකට් තරගයකින් සමන්විත මේ ක්‍රිකට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ද හොඳ  සූදානමකින් පසුවෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායමක් මෙරට ටෙස්ට් ක්‍රිකට් තරග සංචාරයකට පැමිණෙන්නේ වසර 4කට පමණ පසුව වීම ද විශේෂත්වයක්.

මැතිව්ස්, ධනුෂ්ක හා කෞශාල් අර්ධ ශතක අතරට

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන…

මුහුණට මුහුණ

වර්ෂ 1993 සිට ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසය පිරික්සා බැලීමේ දී ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග 25ක් පවත්වා තිබෙන අතර එයින් තරග 14ක ජය දකුණු අප්‍රිකානුවන් සතුවෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 5ක් පමණි. තවත් තරග 6ක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තියෙනවා.

ටෙස්ට් තරගාවලි වලින් ගණනය කර බැලුවොත් මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 10න් තරගාවලි 7ක ජය ලියවී ඇත්තේ දකුණු අප්‍රිකානුවන්ගේ නම ඉදිරියෙන්. තවත් එක තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තියෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ජයග්‍රහණ

ශ්‍රී ලංකාව අවසන් වරට මෙරට දී දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ටෙස්ට් තරගයක දී පරාජය කර ඇත්තේ 2006 වර්ෂයේ දී වන අතර එම තරගාවලියේ පැවති තරග දෙකම ජයග්‍රහණය කොට තරගාවලිය තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. කොළඹ පි. සරවනමුත්තු පිටියේ දී පැවැත්වුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය තියුණු සටනකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ එක් කඩුල්ලකිනි. යම් හෙයකින් ඒ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වූවා නම් එම තරගාවලිය 1-1ක් ලෙස සම වීමට ඉඩකඩ තිබුණා.

එම ජයග්‍රහණයේ වැඩි ගෞරවය මහේල ජයවර්ධනට හිමි විය යුත්තේ එම තරගයේ දී ඔහු ශතකයක් ලබා ගැනීම නිසාවෙනි. අවසානයේ ඔහු තරගයේ වීරයා බවට ද පත්විය. එම තරගාවලියේ වීරයා බවට පත්වූයේ මුත්තයියා මුරලිදරන්ය.

2011 වර්ෂයේ දී ඩර්බන් නුවර පැවති තරගය ලකුණු 208කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ තරගය ඉතිහාසයට එකතු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ඔවුන්ගේ නිජබිමේ දී අවසන් වරට ලබාගත් ටෙස්ට් ජයග්‍රහණය ලෙසයි. එසේම අවසන් වරට ක්‍රීඩා කරන ලද ටෙස්ට් ක්‍රිකට් තරග 5න් 4ක්ම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වෙද්දී එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තියෙනවා.

ලොකු ඉනිම් හා පොඩි ඉනිම්

වසර 15ක් අතීතයට දිවයන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාස පොතේ වාර්තා වන පරිදි මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග තුල කණ්ඩායමක් ලබා ගත් වැඩිම හා අඩුම ලකුණු වාර්තා දෙකම ශ්‍රී ලංකාවේ නමට ඉදිරියෙන් සටහන් වෙලා තියෙනවා. ඒ අතරින් ඉනිමක ලබාගත් වැඩිම ලකුණ ලෙස දැක්වෙන්නේ 2006 වර්ෂයේ දී ලබාගත් ලකුණු 756/5d වන අතර මෙතෙක් ඉනිමක වාර්තා වී ඇති අඩුම ලකුණ වෙන්නේ ලකුණු 95යි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානුවන් මෙල්ල කරයි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර…

සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරගාවලි 10 අතරින් එක් තරගාවලියක දී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ මහේල ජයවර්ධන වන අතර ඔහු එම තරගාවලියේ තරග දෙකක් තුල ඉනිම 3කට පමණක් දායක වෙමින් ශතක 2ක් සමඟ ලකුණු 510ක් ලබාගෙන ඇත්තේ ලකුණු 170කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. මහේල 2006 වසරේ දී මෙරට දී පැවති ක්‍රිකට් තරගාවලියක දී එම දස්කම දැක්වූවා.

එසේම මුත්තයියා මුරලිදරන් දෙරට අතර මෙතෙක් පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක දී වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ තරග 3ක් තුල කඩුලු 26ක් දවා ගනිමිනි. එම වාර්තා දෙකම ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සතුවීම මෙහි ඇති අනෙක් සුවිශේෂිතාවයයි.

ප්‍රබල පිතිකරුවන්

දිමුත් කරුණාරත්න

ආබාධයකට පසුව නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවතීර්ණ වෙන මේ ආරම්භක පිතිකරුවා දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරග 3ක දී ඉනිම 6ක් ක්‍රීඩා කර ලකුණු 128ක් ලබා ගැනීමට සමත්ව ඇත.

නමුත් ඒ එදා කරුණාරත්නය. එම දත්ත වලින් පමණක් ඔහුව මැනීමට නොහැක. අවසන් වසර දෙක තුල ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 15කට සහභාගී වී ලකුණු 1066ක් ලබාගෙන ඇත්තේ ශතක 3ක් හා අර්ධ ශතක 4ක් ලබා ගනිමිනි. එම නිසා හෙට (12) පැවැත්වෙන ක්‍රිකට් තරගයේ දී කරුණාරත්න පිතිකරුවෙක් ලෙස දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ යම් දෙයක් කරනු ඇතැයි අපට වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකිය.

ෆැෆ් ඩියු ප්ලෙසිස්

නායක ෆැෆ් ඩියු ප්ලෙසිස් මෑත කාලය තුල ඉතාමත් හොඳ දස්කම් අතර සිටින දකුණු අප්‍රිකානු පිතිකරුවෙක් ලෙස සැලකීමට හැකි අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරග 5ක දී ඉනිම 9කට ක්‍රීඩා කරමින් ලකුණු 362ක් ලබාගෙන ඇත්තේ අර්ධ ශතක දෙකක් ලබා ගනිමිනි.  ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ද 45.25ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක පවතී.

ඇන්ජලෝ මැතිව්ස්

නිමා වූ කොදෙව් තරග සංචාරයේ දී පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට පමණක් සහභාගී වූ මැතිව්ස් නැවතත් දිවයිනට පැමිණෙන්නේ පුද්ගලික හේතුවක් නිසයි. කෙසේ නමුත් පසුගිය දා දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වුණු පුහුණු ක්‍රිකට් තරගයේ දී ලකුණු 92ක් ලබා ගැනීමට මැතිව්ස් සමත් වුනා. මැතිව්ස් දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරග 8ක දී ලකුණු  560ක් ලබාගෙන ඇත්තේ ඉනිම් 16ක් සඳහා ක්‍රීඩා කරමිනි. ඔහුගේ ලකුණු සාමාන්‍යය ලකුණු 40කි. ඒ අතරට අර්ධ ශතක 5ක් ඇතුළත්ය.

ඩීන් එල්ගාර්

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග ඉතිහාසය පිරික්සා බැලූ විට දකුණතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරුවෙක් වන ඩීන් එල්ගාර් තරග 5ක ඉනිම් 9ක් සඳහා දායකවෙමින් ලකුණු 437ක් ලබාගෙන ඇත. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ආසන්න වශයෙන් ලකුණු 48.55ක් පමණ වේ. ඒ අතරට ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් ඇතුළත්ය.

රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට සැරසෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රංගන හේරත් මේ වසරේ නොවැම්බර්…

ප්‍රබල පන්දු යවන්නන්

සුරංග ලක්මාල්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරග සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස කටයුතු කිරීමට ඉඩ ඇති සුරංග ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 47ක දී කඩුලු 114ක් දවාගෙන ඇත්තේ කඩුලු 5 අවස්ථාවක් ද ලබාගෙනයි. එම දස්කම දක්වා ඇත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමඟ පැවති තරගයක දී ය. දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරග 5ක දී කඩුලු 16ක් දවාගෙන ඇත්තේ ලකුණු 545ක් ලබා දෙමිනි. ලක්මාල්ගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 34.06කි.

කේශව් මහරාජ්

ඉම්රාන් තාහීර්ට පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම දඟපන්දු යවන්නා ලෙස අපට කේශව් මහරාජ්ව හැඳින්වීමට අපට පුළුවන්. වමතින් පිට දඟපන්දු යවන ඔහු මේ දක්වා ටෙස්ට් තරග 20කට ක්‍රීඩා කර කඩුලු 74ක් දවාගෙන ඇත්තේ 28.26ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. එසේම ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකට ක්‍රීඩා කර ඇති මහරාජ් කඩුලු 7ක් දවාගෙන ඇත.

රංගන හේරත්

වමතින් දඟපන්දු යවා වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් ක්‍රීඩකයා ලෙස රංගන හේරත්ව අපට හැඳින්වීමට හැකිය. තරග 90කට සහභාගී වී කඩුලු 418ක් දවාගෙන ඇති හේරත්ගෙන් පළමු ටෙස්ට් තරගය තුල වැඩි යමක් බලාපොරොත්තු වීමට හැකිය. දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග 9ක් ක්‍රීඩා කර ඇති හේරත් එහි දී කඩුලු 31ක් දවාගෙන ඇත්තේ කඩුලු 5ක් දවා ගත් අවස්ථා දෙකක් ද ඔහුගේ නමට ඉදිරියෙන් ලියා ගනිමිනි.

වර්නෑන් පිලැන්ඩර්

දකුණු අප්‍රිකාව සතුව ප්‍රබල වේගපන්දු බලඇණියක් සිටින බව අප කොයි කවුරුත් හොඳින් දන්නා කාරණයක් වන අතර ඒ අතරින් වර්නෑන් පිලැන්ඩර් වැදගත් වන්නේ ඔහුට නව පන්දුවෙන් කළ හැකි දේ බොහෝ නිසාවෙනි. ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 7ක් ක්‍රීඩා කර ඇති පිලැන්ඩර් එහි දී කඩුලු 35ක් දවාගෙන ඇත්තේ 17.20ක තරම් හොඳ මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

ගාලු ක්‍රිකට් පිටියේ ස්වභාවය හා කාලගුණික තත්වය

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාලු ක්‍රීඩාංගණය ලොව ඇති දර්ශනීය ක්‍රීඩාංගණවලින් එකක් ලෙස සැලකෙනවා. මේ මනරම් ක්‍රීඩාංගණයේ තණතීරුව හුඟක් දුරට දඟපන්දු යවන්නන් හට උචිත ලෙස හැඩගැසී ඇත. ගාලු ක්‍රිකට් සමාජයේ සත්කාරක ක්‍රීඩා පිටිය වන මෙම ක්‍රීඩා පිටිය විවෘත කරනු ලබන්නේ 1876 වසරේ දී ය. 1927 වසරේ සිට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පමණක් මෙම ක්‍රීඩා පිටිය වෙන්වනවා.

ගාලු පිටියේ දී ටෙස්ට් ක්‍රිකට් තරග 30කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 17ක් ජයග්‍රහණය කර ඇති අතර තරග 7ක් පරාජය වී ඇත. එසේම ගාලු ක්‍රීඩා පිටියේ පැවති තවත් තරග 6ක් ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් පිටියේ දී පළමු වතාවට එකිනෙකා මුණගැසී ඇත්තේ 2000 වර්ෂයේ වන අතර ඒ තරගය ඉනිමකින් හා ලකුණු 15කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබුණි. 2004 වර්ෂයේ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී අවසන් වරට (2014) පවත්වා ඇති ටෙස්ට් තරගය දකුණු අප්‍රිකානුවන් ලකුණු 153කින් ජයග්‍රහණය කර තිබෙනවා.

යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දුවට පහර දීමට සුදුසු බවයි දත්ත පිරික්සා බැලූ කල පෙනී යන්නේ. සෙසියස් අංශක 26 – 31 අතර පරාසයේ උෂ්ණත්වයක් පවතින මේ ක්‍රිකට් තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.

අවසන් නිගමනය

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු 3589ක් සමඟ ප්‍රසාද ලකුණු 112ක් දිනා ගෙනයි. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 3182ක් සමඟ ප්‍රසාද ලකුණු 91ක් දිනා ගෙනයි. ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම් වලින් ද දකුණු අප්‍රිකානුවන් පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගය හා තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

පළමු ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු වන අසංක ගුරුසිංහ මහතාට අද (11) දිනයේ දී ටෙස්ට් තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තීරණය කළොත් දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග දෙකම ඔවුන් තිදෙනාට අහිමිව යාමට වැඩි ඉඩකඩක් ඇත. එසේ වුවහොත් කණ්ඩායමේ නායකත්වය සුරංග ලක්මාල් වෙත පැවරීමට වැඩි ඉඩකඩක් තිබෙන අතර වැඩ බලන පුහුණුකරු ලෙස තිලාන් සමරවීර මහතාව පත්කෙරෙනු ඇත.

දිනේෂ් චන්දිමාල් හට තරග තහනමක් පැනවුනහොත් රොෂේන් සිල්වා ඔහු වෙනුවෙන් අවසන් 11 දෙනා අතරට පිවිසීමට වැඩි සම්භාවිතාවක් තිබෙන බවයි දැනගන්නට ලැබී ඇත්තේ.

ශ්‍රී ලංකාව – දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, ලහිරු කුමාර.

දකුණු අප්‍රිකාව – ෆෆ් ඩියු ප්ලේසිස් (නායක), එයිඩ්න් මැක්රම්, ඩීන් එල්ගාර්, හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, ක්වින්ටන් ඩී කොක්, කේශව් මහරාජ්, වර්නෑන් පිලැන්ඩර්, කගිසෝ රබාඩා, තබ්‍රයිස් ශම්සි, ඩේල් ස්ටේන්.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වන අතර එම තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<