තිසරගේ ප්‍රහාරය වතුරේ යයි; කරච්චි කිංග්ස් ඉවතට

පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

94

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (PSL) අවසන් වටයේ තෙවැනි තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව, ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක තිසර පෙරේරා නියෝජනය කරන Karachi Kings කණ්ඩායමට ඊයේ (22) අහිමි වුනා.

ඒ ඊයේ අලුයම පැවති අවසන් වටයේ දෙවැනි තරගයෙන් (Eliminator 1), ඔවුන් තියුණු සටනකින් පසුව Peshawar Zalmi හමුවේ කඩුලු 5කින් පරාජයට පත් වීම හේතුවෙන්.

Abu Dhabi හි පැවති තරගයේ Peshawar Zalmi කණ්ඩායමේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දුන් Karachi Kings කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තේ තිසර පෙරේරා පන්දු 18කට මුහුණ දෙමින් රැස් කළ වේගවත් ලකුණු 37 ද සවියක් කරගෙනයි.

ඔහුගේ එම වේගවත් ඉනිම සඳහා හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වුනු අතර Babar Azam පන්දු 45ක දී ලකුණු 53ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Wahab Riaz, Mohammad Irfan සහ Umaid Asif අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තවත් ක්‍රිකට් පුවත්:

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Peshawar Zalmi පන්දුවාර 19කුත් පන්දු 5ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළ ගියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය ද වෙන්කරවා ගනිමිනි.

එහි දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු Hazratullah Zazai හයේ පහර 5ක් සහ හතරේ පහර 10ක් එල්ල කරමින් පන්දු 38ක දී වේගවත් ලකුණු 77ක් රැස් කළා. ඊට අමතරව Shoaib Malik ලකුණු 30ක් ලබාගෙන ඉනිමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වුනා. පන්දු යැවීමේ දී තිසර පෙරේරා පන්දුවාර 2ක් තුළ ලකුණු 10කට කඩුලු 2ක් බිද හෙලුවා.

මෙම ජයග්‍රහණයත් සමඟ Peshawar Zalmi කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී Islamabad United කණ්ඩායම සමඟින් තරග වැදුණු අතර එහි දී කඩුලු 8ක දැවැන්ත ජයක් ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Peshawar Zalmi කණ්ඩායම සමත් වුනා.

ඒ අනුව 2021 පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (24) Multan Sultans සහ Peshawar Zalmi අතර Abu Dhabi හිදී පැවැත්වෙන අතර එම තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

එම තරගයේ තොරතුරු ද ඇතුළුව දෙස් විදෙස් කෙළිබිමේ උණුසුම් තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<