චෙන්නායි හොඳම අවසන් කරන්නාටත් අවසානය මග හැරෙයි!

646

චිදම්බරම් පිටියේ දී ම සත්කාරක චෙන්නායි සුපර් කිංග්ස් අවසන් පන්දුවේ දී පරාජය කළ රාජස්ථාන් රෝයල්ස් ඊයේ (12) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි නායක MS Dhoni මුලින් පන්දුවට පහර දීමට රාජස්ථාන් කණ්ඩායමට ආරාධනා කළා. මේ තරගය වෙනුවෙන් නවසීලන්ත සංචාරය නිමා කරමින් ඉන්දියාව බලා පියාසර කළ මහීෂ් තීක්ෂණ ද එක්වී සිටියා. මතීෂ පතිරණට කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබුණේ නැහැ.

රාජස්ථානයේ පළමු කඩුල්ල ලෙස දැවී යන්නේ මෙවර තරග වාරයේ හොඳ ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කළ Yashasvi Jaiswalයි. ඔහු ඊයේ රැස්කළේ ලකුණු 10ක් පමණයි. චෙන්නායි නායකයා තීක්ෂණව පවර්ප්ලේ පන්දුවාර 2ක් සඳහා යොදා ගත්තත්, ඔහුට එරෙහිව හොඳින් ලකුණු රැස් කරන්නට Devdutt Padikkal සහ Jos Buttlerට හැකි වුනා.

සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ Buttler ලකුණු 52ක් රැස්කර ගත්තේ පන්දු 36කට පමණක් මුහුණ දෙමින්. ඊට හතරේ පහරක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුනා. ඔහු සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 77ක සබඳතාවයක් ගොඩ නැගූ Devdutt Padikkal පන්දු 26කින් ලකුණු 38ක් ලබා ගත්තා. රාජස්ථාන් නායක Sanju Samson ඊයේ කිසිදු ලකුණක් රැස් කිරීමට පෙර Ravindra Jadeja ඔහුගේ කඩුල්ල බිඳ හෙළුවා.

පිතිකරණයේ උසස් වීම් ලබා සිටින Ravichandran Ashwin ලබා ගත් ලකුණු 30 සාර්ථක ඉනිමක් ලෙස හැඳින්විය හැකියි. ඒ ඔහු පන්දු 22ක් පමණක් ඒ වෙනුවෙන් වැය කිරීම නිසයි. ඒ  අතරේ ඔහු හයේ පහර ද්විත්වයක් ද එල්ල කළා. Ashwinට පසු පිටියට පිවිසි Shimron Hetmyer ඊයේ පන්දු 18කින් ලකුණු 30ක් රැස් කළේ රාජස්ථාන් ඉනිම ලකුණු 175ක් කරා රැගෙන යමින්.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණගේ පන්දුවාර 4ට ලකුණු 42ක් උදුරා ගන්නට රාජස්ථාන් පිතිකරුවන්ට හැකි වුනා. හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 21ට කඩුලු 2ක් බිඳ හෙළු Ravindra Jadejaගේ උත්සාහය සැලකිය හැකියි. මීට අමතරව යොවුන් ක්‍රීඩක Akash Singh සහ Tushar Deshpande කඩුලු 2 බැගින් දවා ගත්තා.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ කළ චෙන්නායි කණ්ඩායමට පළමු කඩුල්ල වෙනුවෙන් ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 10ක් පමණයි. එහි දී චෙන්නායි ප්‍රබල තුරුම්පුවක් වන Ruturaj Gaikwad ලකුණු 8ට දැවී ගියා. කෙසේ වෙතත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක් එක් කරන්නට Devon Conway සහ Ajinkya Rahane සමත් වුනා.

පන්දු 38ක් ක්‍රීඩා කළ Conway එහි දී අර්ධ ශතකයක් වාර්තා කළේ හතරේ පහර 6ක් සමඟිනුයි. මේ වන විට ප්‍රවේගකාරී පිතිකරුවෙකු බවට පත්ව ඇති Ajinkya Rahane ලකුණු 31ක් රැස් කිරීමට වැය කළේ පන්දු 19ක් පමණයි. ඒ අතරේ ඔහු එල්ල කළේ හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් වුව ද නිලකුණු පන්දු ක්‍රීඩා කිරීම ඔහු ඉතා අවම මට්ටමක තබා ගත්තා.

කෙසේ වෙතත් මෙම සබඳතාවයෙන් පසු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 35ක් තුල බිඳ වැටීම නැවතත් රාජස්ථානය තරගයට කැඳවීමට හේතු වුනා. එහි සම්පූර්ණ ගෞරවය රාජස්ථාන් රෝයල්ස් සතු සුපිරි දඟපන්දු ත්‍රිත්වය වන Yuzvendra Chahal, Ravichandran Ashwin සහ Adam Zampaට හිමි විය යුතුයි.

මේ නිසාම අවසන් පන්දුවාර 5දී ලකුණු 12ක වේගයක් සහිතව පන්දුවට පහර දෙන්නට නායක Dhoniට සහ Ravindra Jadejaට සිදු වුනා. තවත් පන්දුවාර 2ක් කිසිදු හතරේ පහරක් හෝ හයේ පහරක් වාර්තා නොවී ගෙවී යද්දී අවසන් පන්දුවාර 3ට අවශ්‍ය කළ ලකුණු සංඛ්‍යාව 54ක් දක්වා ඉහළ නැග්ගා.

තරගය බේරා ගැනීම වෙනුවෙන් දැඩි සටනක නියැලුණු Dhoni සහ Jadeja 18 වැනි පන්දුවාරයට ලකුණු 14කුත්, 19 වැනි පන්දුවාරයට ලකුණු 19කුත් ලබා ගන්නේ අවසන් පන්දුවාරයට ලකුණු 21ක් අවශ්‍ය වන තැනට තරගය රැගෙන එමින්. එම පන්දුවාරය ක්‍රියාත්මක කළ Sandeep Sharma මුල් පන්දු දෙකම වයිඩ් පන්දු බවට පෙරළා ගන්නේ ඉන්දියාවෙන් බිහි වූ හොඳම තරග අවසන් කරන්නාගේ ඉදිරිපිට දැනුණු චකිතය නිසා විය යුතුයි.

එම පීඩනය මැද ඔහුගෙන් ලැබුණු ෆුල්ටොස් පන්දු 2ක් Dhoni හයේ සීමාව කරා ගුවන්ගත කරන්නේ පන්දු 3කින් ලකුණු 7ක් දක්වා ඉලක්කය පහසු කරමින්. මේ මොහොතේ Sandeep Sharmaගේ මීළඟ පන්දු දෙකට චෙන්නායි පිතිකරුවන් තනි ලකුණු ලබා ගැනීම නිසා අවසන් පන්දුවේ දී ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට ලකුණු 5ක් අවශ්‍ය කළා.

පන්දු 17කින් ලකුණු 32ක් ලබා සිටි Dhoniට එම පන්දුවේ දී ලබා ගැනීමට හැකි වුනේ එක් ලකුණක් පමණයි. මේ අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තරගය බේරා දීමට Sandeep Sharmaට හැකි වුනා. අනෙක් අන්තයේ සිටි Ravindra Jadeja පන්දු 15කින් ලකුණු 25ක් රැස්කර ගත්තා. තරගයේ වීරයා ලෙස සම්මාන හිමි වුනේ ලකුණු 30ක් සහ කඩුලු 2ක් දවා ගත් Ravichandran Ashwinටයි.

රාජස්ථාන් රෝයල්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 175 (පන්දුවාර 20): Jos Butler 52, Devdutt Padikkal 38, Shimron Hetmyer 30, Ravichandran Ashwin 30, Ravindra Jadeja 2/21, Tushar Deshpande 2/37, Akash Singh 2/40.

චෙන්නායි සුපර් කිංග්ස් – කඩුලු 6ක් දැවී ලකුණු 172 (පන්දුවාර 20): Devon Conway 50, MS Dhoni 32*, Ajinkya Rahane 31, Ravindra Jadeja 25*, Ravichandran Ashwin 2/25, Yuzvendra Chahal 2/27, Sandeep Sharma 1/30.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පංජාබ් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගය අද (13) රාත්‍රි 7.30ට ආරම්භ වනවා. මෙම කණ්ඩායම් දෙකට පිළිවෙළින් භානුක රාජපක්ෂ සහ දසුන් ශානක ක්‍රීඩා කරන නිසා එය වඩාත් රසවත් වනු ඇති.

මෙම තරගය මෙන්ම IPL තරගාවලියේ සියලු තරග ඔබට ThePapare.com වෙතින් නැරඹිය හැකියි. රැඳී සිටින්න ThePapare.com සමඟම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<