මම පිස්සෙක් වගේ කෑම කෑවා ඒ දවස්වල – කෝලි

406

Virat Kohli තමන් ශාරීරික වශයෙන් අත්කරගෙන ඇති පරිවර්තනයට හේතු වූ සිදුවීම් දාමය පිළිබඳව පසුගිය දා ඉන්දීය ක්‍රීඩක Mayank Agarwal සමඟ පැවති කතාබහක දී අදහස් පළකර ඇත.

Kohli මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව තුළ ලෝකයේ සිටින ශාරීරික යෝග්‍යතාවය අතින් ඉහළම ක්‍රීඩකයෙකු බවට පත්ව ඇති නමුත් ඔහු සිය ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීමට වර්තමානයේ තරම් උනන්දුවක් නොදැක්වූ කාල සීමාවක් ද පැවත ඇත. ඒ අනුව ඔහුගේ ශරීරය නිසි පරිදි පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය ඔහුට වැටහී ඇත්තේ 2012 වසරේ දී වන අතර ඒ හරහා ඔහු සිය ශාරීරික යෝග්‍යතාවය ඉහළ මට්ටමක පවත්වා ගන්නට මෙන්ම ඔහුගේ ආහාර පුරුදු සම්පූර්ණයෙන් ම වෙනස් කරගන්නට ද පියවර ගෙන ඇත.

“2012 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ දී මම ගෙදර ඇවිත් මාව දැක්කම මට මං ගැනම ලොකු පිළිකුලක් ඇති වුනා. මට මං ගැන හැමදෙයක්ම වෙනස් කරගන්න එවෙලේ අවශ්‍ය වුනා. ඒ වගේම මම දැක්කා ක්‍රිකට් ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා වගේම අනෙක් කණ්ඩායම් එක්ක බැලුවම අපි ශාරීරික යෝග්‍යතාවය අතින් ගොඩක් පිටුපසින් ඉන්නේ කියලා. ශාරීරික යෝග්‍යතා තලයන් ගත්තොත් ඔවුන් අපිට වඩා ගොඩක් ඉදිරියට යමින් සිටියේ.

ඉතින් ඒක මට ලොකු ගැටලුවක් වුනා. ඒක මුලින්ම තනි තනිව ආරම්භ කළ යුතු දෙයක් කියලා මට තේරුණේ 2012 වසරේ IPL තරගාවලියෙන් පස්සේ. ඒක මම මං ඉස්සරහ තිබුණ ඕනම දෙයක් කෑමට ගත්ත කාලයක්. එතකොට අපි නැවතිලා හිටියේ ITC Gardenia හෝටලයේ. ඔවුන් කාමරවල mini-bar එකේ eclairs පැකට් එකක් තියලා තියෙනවා. ඔවුන් හැමවෙලේම ඒක ආයේ පුරවන්නත් කටයුතු කළා. ඉතින් මම ඒ සම්පූර්ණ පැකට් එකක්ම දවස් 3-4කින් ඉවර කරනවා. ඒ පැකට් එකක eclairs 40ක් තිබුණා.”

2012 IPL තරග වාරයේ දී Kohli සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ අතර ඒ අනුව එහි දී තරග 16ක දී ඔහු වාර්තා කර ගැනීමට සමත් වූයේ සමස්ත ලකුණු 364ක් පමණි. එහි දී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ද දැක්වුණේ 28ක් වැනි අඩු අගයක ය. ඊට පෙර 2011 IPL තරග වාරයේ දී කැපී පෙනෙන දක්‍ෂතා ප්‍රදර්ශනය කළ ඔහු එහි දී අර්ධ ශතක 4ක් ද සමඟින් සමස්ත ලකුණු 557ක් වාර්තා කරගැනීමට සමත් වූයේ 46.41ක ඉහළ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගනිමිනි. 

තවත් කියවන්න;

කෙසේ නමුත් ඔහුට පෙර පැවති කඩචෝරු ආහාරයට ගැනීමේ පුරුද්ද මෙන්ම එය අත්හැර දැමීමට ඔහු ගත් නිවැරදි තීරණය පිළිබඳව ද අවස්ථා ගණනාවක දීම Kohli විසින් අදහස් දක්වා ඇත. 

“ඒක තමයි ඒ කාලේ මගේ ආහාර ගැනීමේ රටාව වුනේ. මම ඒ කාලේ කන්න පුරුදු වෙලා හිටියේ හරියට පිස්සු මනුස්සයෙක් වගේ. මොකද ඒ කාලේ මම ලොකු සාර්ථකත්වයක් ළඟා කර ගත්තා වගේම හැමදෙයක්ම ගොඩක් හොඳින් සිදු වෙමින් තිබුණේ. ඉතින් මම IPL තරගාවලියට ගියේ මං තරගාවලියේ දී ඉහළම දක්‍ෂතා දක්වයි කියලා හිතාගෙන. 

ඒත් අන්තිමට ඒක එහෙම වුනේ නැහැ. ඇත්තටම දේවල් එහෙම වෙන්නේ නැහැ. මම ඒ කාලේ ඒක අගය කළේ නැහැ වගේම එකට ලොකු ගෞරවයක් ලබා දුන්නෙත් නැහැ. හැබැයි මම ගෙදර ගියාට පස්සේ මට තේරුණා මම හිතන විදිහේ ඉඳන් සූදානම් වෙන විදිහ දක්වාම හැමදෙයක් ම මං වෙනස් කරගන්න ඕනේ කියලා. ඉතින් මම ඒ දේවල් ඊළඟ දවසේ ඉඳලා ම වෙනස් කරගන්න පටන් ගත්තා. එදා ඉඳන් මම සූදානම් වෙන්න ඕනේ කොහොමද කියන එක ගැන මට තිබුණ අදහස සම්පූර්ණයෙන් ම වෙනස් වුනා.”  

www.hindustantimes.com වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<