දසුන් ශානකගෙන් ක්‍රිකට් රසිකයින්ට ඉල්ලීමක්

603
Sri Lanka captain

කොරෝනා මර්දන එන්නත ලබා ගනිමින් COVID මර්දන වැඩපිළිවෙළ සඳහා සහය වන ලෙස ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක දසුන් ශානක ශ්‍රි ලංකා ක්‍රිකට් රසිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

සිය පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සටහනක් තබමින් ඔහු මෙසේ ක්‍රිකට් රසිකයින්ට කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියා.

ඔහු එහි දී පවසා තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ට ලැබුණු පළමු අවස්ථාවෙන්ම එන්නත්කරණය සඳහා යොමු වූ බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් ද එලෙස තමන්ට ලැබෙන පළමු අවස්ථාවෙන්ම එන්නත්කරණය සඳහා යොමු වන බව අපේක්ෂා කරනා බවත් ය.

නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව තුල වයස අවුරුදු 20ත් – 29ත් අතර වයස් කාණ්ඩයේ තරුණයින් එන්නත්කරණය සඳහා යොමු වන ප්‍රවණතාව ඉතාමත් පහළ අගයක් ගන්නා බව අනාවරණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ප්‍රජාව එන්නත්කරණයට දිරිමත් කරමින් එළඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත LPL තරගාවලියේ දෙවැනි අදියර, එන්නත්කරණය සඳහා යොමු වූ රසිකයින්ට පමණක් විවර කරන බව පවසා සිටියා.

අපිට අවශ්‍යයි අපේ ක්‍රිකට් රසිකයින් දිරිමත් කරන්න කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබා ගන්න. ඒ හරහා අපිට අවස්ථාව ලැබෙනවා 25%ක් තරම් ප්‍රමාණයකට මෙවර LPL තරගාවලිය සජීව ලෙස නරඹන්න අවස්ථාව ලබා දෙන්න. මේ වන විට ශ්‍රී ලංකාව 54%ක් පමණ එන්නත්කරණ ප්‍රතිශතයක් වාර්තා කරලා තිබෙනවා. ඊළඟ මාස කිහිපයේ දී මේ අගය 70%ක් – 75%ක් දක්වා වර්ධනය කර ගන්න හැකි වුනොත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ක්‍රීඩාංගණ ප්‍රේක්ෂකයින්ට විවෘත කරන්න හැකියාව ලැබේවි, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් හි වෛද්‍ය ඒකකයේ ප්‍රධානි අර්ජුන ද සිල්වා මහතා ThePapare.com ප්‍රකාශ කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<