කරුට කිරි කුරේට කැකිරි

136

එළැඹෙන 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ හා මැරතන් ක්‍රීඩිකා නිලූකා රාජසේකර යන දෙදෙනා මේ වනවිටත් සුදුසුකම් ලබා සිටියද ජාතික ඔලිම්පික් කමිටුව හරහා ලැබෙන ශිෂ්‍යත්ව දීමනා හිමිකම් ලැයිස්තුවට මේ දෙදෙනා ඇතුළත් නොකර ඉන් පහළ මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනකු ඇතුළත් කර ඇති බවට අනාවරණය වී ඇත.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සහයෝගිතා වැඩසටහන අනුව මෙසේ ඔලිම්පික් කමිටුව විසින් ශිෂ්‍යත්වලාභීන් ලෙස ප්‍රකාශයට පත්කරන ලද නාමලේඛනයට අනුව බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, බර ඉසිලීමේ ක්‍රීඩක සුදේශ් පීරිස්, මල්ලවපොර ක්‍රීඩක චාමර මිලින්ද පෙරේරා, මලල ක්‍රීඩිකා චන්ද්‍රිකා සුභාෂිණී රත්නායක හා ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනා ඇතුළත් කර ඇත. තවද මෙම මාසික ශිෂ්‍යත්ව දීමනා ලැයිස්තුවේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනකුට මාසිකව ඇමෙරිකානු ඩොලර් 1,000ක් බැගින් ගෙවද්දී බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නට පමණක් ඇමෙරිකානු ඩොලර් 1,500ක් මාසිකව ගෙවීමය.

මෙසේ ප්‍රකාශිත ශිෂ්‍යත්ව ආධාර දීමනා එකඟතාවට අනුව බ්‍රසීලයේ රියෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන 2016 අගෝස්තු මාසයේ 31 වැනි දින දක්වා මෙකී ක්‍රීඩකයන් පස්දෙනාටම මෙම මාසික ඩොලර් දීමනාව ගෙවනු ලබන බව සඳහන්ය. එහෙත් මෙම දීමනාව කවදා සිට ගෙවන්නේද යන්න ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරන ලද ප්‍රකාශනයෙහි සඳහන් නොවීම ප්‍රශ්නාර්ථයකි. නමුත් දැනගන්නට ඇති පරිදි මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇති එක්තරා ක්‍රීඩකයකුට මෙම මාසික ඩොලර් දීමනාව 2010 වසරේ සිට ගෙවන බවට දැනගන්නට ඇත.

බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න පසුගිය 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර ඉන්ද්‍රජිත් කුරේ යනු 2004 හා 2012 යන වසර වලදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2ක්ම වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ මැරතන් ක්‍රීඩකයෙකි. ඔහු පසුගියදා පැවැති ලන්ඩන් මැරතන් තරගයේදී පැය 2යි. විනාඩි 13යි තත්පර 47කින් නිමා කරමින් එළැඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගත් අතර එම කාලය ශ්‍රී ලංකාවෙන් බිහිවූ මැරතන් ශූර එස්. එල්. බී. රෝසා විසින් එතෙක් තබා තිබූ වාර්තාවද බිඳ හෙළීමකි.

එවන් දක්ෂතා පෙන්වමින් වර්තමානයේ ලන්ඩනයේ වෙසෙන ඉන්ද්‍රජිත් කුරේට තමා සේවය කරන බේකරි ආයතනය මඟින් ලබාදී තිබෙන කෙන්යාවේ පුහුණුව පමණක් පිහිටවී ඇත. එංගලන්තයේ වාසය කළද ඔහුට පසුගිය 2014 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ අවස්ථාව අහිමි වීමට මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ කඹ ඇදිලි බලපෑ අතර 2012 වසරෙන් පසු ශ්‍රී ලංකා රජය පැත්තෙන් කිසිදු අනුග්‍රහයක් කුරේ වෙත නොලැබුණු බවද පැවැසීය.

එසේම මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා අවශ්‍ය පාරිසාධන මට්ටමට අහලකවත් නැති පස්දෙනකු ඩොලර්වලින් මාසිකව අනුග්‍රහය ලබද්දී පසුගිය ජනවාරි 25දා පැවැති හොංකොං මැරතන් තරගයේදී ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා පැය 2යි විනාඩි 40කින් තරගය නිමකර ඔලිම්පික් වරම් ලැබූ නිලූකා රාජසේකර හා ඉන්ද්‍රජිත් කුරේද දමා ඇත්තේ දෙවැනි පෙළ දීමනා ලබන ලැයිස්තුවකටය. එනම් ඔලිම්පික් වරම් ලැබූ බව දැන්වීමෙන් පසුව ඔලිම්පික් කමිටු ලේකම්වරයා විසින් මාසිකව රුපියල් හතළිස් දහසක අනුග්‍රහයක් ලබාදීමට එකඟ වී ඇත. එම දීමනාවද 2016 මාර්තු මස 31දා දක්වා පමණි. එහෙත් රාජසේකර නම් ක්‍රීඩිකාව මේ වන විට ඔලිම්පික් වරම් ලබා ඇති බවට පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා පිළිනොගැනීම කනගාටුවට කරුණකි. තවද 2012 වසරේදී ඔලිම්පික් ගිය ක්‍රීඩකයෙක් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 12ක් වියදම් කරන ලද බව පැවැසෙන අතර වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා මෙම කිරි හා කැකිරි න්‍යාය වෙනස් කිරීමට අවධානය යොමු කළ යුතුය.