ආසියානු ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් පිටියේ දී ශ්‍රී ලංකාවෙන් ඉහළ දස්කම්

192

වියට්නාමයේ ඩා නැංග් නුවර ටියැන් සන් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුනා.

ආසියානු බැඩ්මින්ටන් සම්මේලනය සංවිධාන කරන මෙම තරගාවලිය සඳහා සියලු මහද්වීප නියෝජනය කරමින් අත්දැකීම් බහුල පළපුරුදු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් එක්වීමක සිටිනවා.

තරගාවලියේ අවුරුදු 45න් ඉහළ ඒකල තරග අංශයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ හිටපු ජාතික ශූරියක වන රේණු චන්ද්‍රිකා ද සිල්වා  එම වයස් කාණ්ඩයේ ඒකල තරග අංශයේ අවසන් මහා තරගයේදී ඉන්දියාවේ යැස්මීන් ශේක් ලකුණු 21-7ක් සහ 21-9ක් ලෙස පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

අවුරුදු 65න් ඉහළ කාන්තා ඒකල තරග අංශයේ දස්කම් පෑ ලක්ෂ්මි පුංචිහේවා එම තරග අංශයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

අවුරුදු 80ට වැඩි සහ අවුරුදු 110ට වැඩි ඒකාබද්ධ කාන්තා තරග අංශයේ දී චන්ද්‍රිකා සහ ලක්ෂ්මි එක්ව ලෝකඩ පදක්කම දිනා ගැනීම කැපී පෙනුණා.

එමෙන්ම මෙම ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මිශ්‍ර යුගල කණ්ඩායම වන රොහාන් ද සිල්වා සහ චන්ද්‍රිකා ද සිල්වා අවුරුදු 110න් ඉහළ ඒකාබද්ධ තරග අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

පිරිමි තරග අංශයේ දී මංජුල සම්පත් ප්‍රනාන්දු තරගාවලිය පුරා කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර අවුරුදු 45න් ඉහළ පිරිමි ඒකල තරග අංශයේ අවසන් මහා තරගයේදී ප්‍රබල සටනකින් පසු ඉන්දුනීසියාවේ මුල් පෙළ ක්‍රීඩක ජෝනු හිඩායට් හමුවේ පරාජයට පත් වෙමින් ඔහු රිදී පදක්කම දිනා ගත්තා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare සමඟ.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<