“ඒක නිකම් ම නිකම් දිනුමක් නෙවෙයි”

Bangladesh vs Afghanistan 2023

16284
Bangladesh vs Afghanistan 2023

බංග්ලාදේශ කණ්ඩායම විසින් ඇෆ්ගනිස්තානය පරදවමින් ලැබූ අතිදැවැන්ත ජයග්‍රහණය ටෙස්ට් තරග ජයග්‍රහණයට වඩා දෙයක් බව බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා විසින් ප්‍රකාශ කරනවා.

පසුගිය සතියේ 13 වැනිදා සිට 17 වැනිදා තෙක් බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 546ක වාර්තාගත ජයග්‍රහණය ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුනා. මෙම ජයග්‍රහණය ලෝක ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ලද තෙවැනි විශාලතම (ලකුණු පරතරය අනුව) ජයග්‍රහණය ලෙසයි වාර්තා පොත් අතරට එකතු වුනේ.

බංග්ලාදේශය සතු ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයින් දෙදෙනා වන Shakib Al Hassan සහ Tamim Iqbal යන දෙදෙනාව ම නොමැතිව වුවත්, බංග්ලාදේශය මෙවන් ජයග්‍රහණය කරා යාමට සමත් වීම හතුරුසිංහගේ ප්‍රීතියට හේතු වී තිබෙනවා.

ඔබ දැක්කා ද දන්නේ නැහැ, මේක ටෙස්ට් ජයග්‍රහණයකට වඩා දෙයක් කියලා මම සමාජ මාධ්‍යවල සටහනක් යෙදුවා. එයින් මම අදහස් කලේ අපි මීට පෙර සිදු නොකළ ලෙස මේ තරගයට සූදානම් වූ ආකාරය ගැන.

අපි වේගවත් කොළ පාට තණතිලි වල සූදානම් වුනා වගේ ම, එවැනි ම කඩුල්ලක විශිෂ්ට ලෙස ක්‍රීඩා කිරීම අපේ ජයග්‍රහණයක් කියලා මම හිතුවා.

ඒ නිසා ඒක ටෙස්ට් ජයග්‍රහණයකට වඩා දෙයක් කියලා මම හිතනවා. ඒ වගේ ම මේ ටෙස්ට් තරගයේ දී දස්කම් දක්වමින් නව වීරයින් බිහි වුනා.

තරගයේ වාතාවරණය ධනාත්මක පිතිකරණයකට හිතකර නම් අපි එය අනිවාර්යයෙන් ම කරනවා. අපි එහෙමයි පුහුණු කලේ. අපි ඔවුන්ට ලකුණු රැස් කරන්න නිදහස දීලා තියෙනවා. ක්‍රීඩාවේ නම තමයි ලකුණු රැස් කිරීම.”

තම ක්‍රීඩකයින්ට නිදහසේ ලකුණු රැස් කිරීමට අවස්ථාව ලබා දී ඇති සේ ම පවතින වාතාවරණය අනුව ඔවුන් සිය පිතිකරණ රටාව වෙනස් කර ගැනීමට ද දක්ෂ බවයි හතුරුසිංහ පවසන්නේ.

එමෙන්ම අලුතෙන් කණ්ඩායම සමඟ එකතු වූ පිතිකරුවන් පවා සිය උපරිමය කණ්ඩායම වෙත ලබා දීමට සමත් වූ බව හතුරුසිංහ පවසනවා.

මේ අතර සිය වේගපන්දු බළඇණිය පිළිබඳව ද හතුරුසිංහ ඉමහත් ප්‍රසාදයකින් යුතු ව සිය අදහස් පළ කරා.

“ඔවුන් පන්දු යැවීමට ලබා ගත් ප්‍රවේශය ඉතාම හොඳයි. හොඳ වෘත්තීය ප්‍රවේශයක්.”

එමෙන්ම ජූලි 05 වැනිදා ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්තාන – බංග්ලාදේශ සීමිත පන්දුවාර තරගාවලියේ දී මීටත් වඩා ප්‍රබල අභියෝගයක් ඇෆ්ගනිස්තානයෙන් තමන් වෙත එල්ල වනු ඇතැයි හතුරුසිංහ විසින් අපේක්ෂා කරනවා.

එමෙන්ම ඒ සඳහා මුහුණ දීමට ආබාධ වලට ලක් වී ඇති Shakib සහ Tamim දෙදෙනා යලි යථා තත්වයට පත් වනු ඇති බවටත් හතුරුසිංහ සිය විශ්වාසය පළ කර තිබුණා.

ඇෆ්ගන්-බංගලි ක්‍රිකට් ගැටුම පිළිබඳ සියලු තතු විත්ති ඔබට ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<